doctor-student-death

ඔකඳ දේවාලය වැඳ පුදා ගැනීමට කාරිතිව් ප්‍රදේශයේ සිට පැමිණි පවුලක ඥාතීන් පිරිසක් ඉකුත්දා (14) ලාහුගල හැඩඔය නාන තොටුපොළේ දියනාමින් සිටියදී 18 හැවිරිදි තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇති බව පොතුවිල් පොලිසිය පවසයි.



මෙම තරුණයා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන් පිරිස උදෑසන ඔකඳ දේවාලයේ පූජාවකට සහභාගි වීමෙන් පසුව හැඩඔය නාන තොටුපොළේ දියනෑමට පැමිණ ඇත. එහිදී සියලු දෙනාම දිය නාමින් සිටියදී 8.45 ට පමණ මෙම තරුණයා එක් වරම දියේ ගිලී නොපෙනී ගොස් ඇති අතර පසුව කළ සොයා බැලීමේදී ඔහුගේ මෘත දේහය හමුවූ බව ඔහුගේ මව වන සුරේෂ් රාජ් ජීව රංජනී නැමැත්තිය පොලිසියට පවසා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ශිවහරන් අඩ්වෙයන් නැමති තරුණයෙකු වන අතර කාර්තිව් 02 කොට්ඨාසයේ අංක 142 නඩරාජානන්ද පාර ලිපිනයේ ඔහු පදිංචිව සිට ඇත.

මොහු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවකු වන අතර උපාධිය සමත් අයකු බව ද සඳහන් වේ.මේ වන විට ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලාහුගල ග්‍රාමීය රෝහල වෙත ගෙනැවිත් ඇති අතර පොතුවිල් පොලිසිය පොතුවිල් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.
ගයාන් චින්තක