economic-growth-2024

 ආනයන සීමාවකට මේ වන විට යටත්ව ඇත්තේ වාහන ආනයනය පමණක් බවත්, 2023 පළමු කාර්තුවේදී ඍණ 10%කින් ආර්ථිකයේ හැකිළීමක් ඇතිවූ අතර මේ වනවිට එය 5.3%ක ආර්ථික වර්ධන වේගයක් ඇති වී තිබෙන බවත්, එහි ප්‍රතිලාභ සමාජයේ සියලු දෙනාට එක හා සමානව ලබා දිය යුතු බවත් 2025 වර්ෂය වන විට පෞද්ගලික වාහන සඳහා පවතින සීමා ඉවත් කිර්ම රජයේ අරමුණ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (16දා) දින අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.



"නිදහස් වෙළෙඳපළකට අවශ්‍ය පරිසරය නිර්මාණය  කරන ආර්ථිකයක් රටේ ගොඩනැගීම ආණ්ඩුවේ පුධාන අරමුණයි. 2023 පළමු කාර්තුවේදී සෘණ 10%කින් හැකිළුණු ආර්ථිකය මේ වනවිට 5.3%ක ආර්ථික වර්ධන වේගයක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටීමේ සිට වත්මන් ආර්ථික වර්ධනය දක්වා ආණ්ඩුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව හා ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තුන්වන වාරිකය නිදහස් කිරීමට කටයුතු කළා.

ශ්‍රී ලංකාව , නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමත් දීර්ඝ කාලීන ආර්ථික වැඩ පිළිවෙළක් සඳහා අවශ්‍ය ව්‍යුහය නිර්මාණය කරගැනීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තැබූ විශ්වාසය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ජනතාවට පහසුවෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරිම රජයේ බලාපොරොත්තුවයි.

රාජ්‍ය ආදායම 15%ක් වන ප්‍රශස්ත මට්ටමකට ගෙනයමින් සිටිනවා.

රාජ්‍ය ආදායම ශක්තිමත් කරගනිමින් නීතිර්ති රාමුවක් සකස් කොට රාජ්‍ය මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගනිමින් රට නිවැරදි මාර්ගයකට ගෙන යමින් පවතිනවා. ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනය දශම 2%ක අමතර රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට කටයුතු කිරීම අපේ අරමුණයි.සමාජයේ යහපත්ව පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය පද්ධතිය ඩිජිල්කරණය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.නිදහස් වෙළෙඳපළකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ආර්ථිකයක් රටේ ගොඩනැගීම ආණ්ඩුවේ අරමුණයි".
 බී.ජී. චතුරංග