dehiwala-houses-president

කවර බාධක පැමිණියත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ පරම වගකීම බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ (5) පැවසීය. එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පළාත් පාලන ඡන්ද විමසීම අඩාළ කිරීමට

විධායකය හිතාමතාම කටයුතු කළ බවට චෝදනා කළේය. ‘ඡන්දෙ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නෑ' යනුවෙන් විධායකය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් විධායකය දැරූ අත්තනෝමතිකභාවය මනාව පැහැදිලි වන බව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

පළාත් පාලන මැතිවරණය නො පැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරුවරයා සඳහන් කළ කරුණකට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඒ බව පෙන්වා දුන්නේය.අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල් ල්ගොඩ,

ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පළාත් පාලන මැතිවරණය නොපැවැත් වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි සඳහන් කරමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් කැඳ වූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම නියම කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග තම සේවාදායකයන් විසින් ගන්නා ලදැයි කීය.පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම හේතුවෙන් නියමිත අවස්ථාවේදී ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වූයේ යැයි කී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නිසි අවස්ථාවේ දී පළාත් පාලන ඡන්දය නො පැවැත්වීම හේතුවෙන් මතු වී ඇති අපවාදයෙන් ගැලවීමට රජය, මැතිවරණ කොමිසමට චෝදනා එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි පෙන්වා දුන්නේය.



පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව සියලු තීරණ ගන්නා ලද්දේ මැතිවරණ කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකගත්වයෙන් යැයි කී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නියමිත අවස්ථාවේදී පළාත් පාලන ඡන්දය නො පැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී නැතැයි ද පැවසීය.මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කවර බාධක පැමිණියත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ පරම වගකීම යැයි කීය.ඒ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම අඩාළ කිරීමට විධායකය හිතාමතාම කටයුතු කළ බවට චෝදනා කළේය.

‘ඡන්දෙ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නෑ' යනුවෙන් විධායකය පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් විධායකය දැරූ අත්තනෝමතික භාවය මනාව පැහැදිලි වන්නේ යැයිද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය. වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ.පෙත්සම්කාර සමගි ජනබලවේගය පක්‍ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා ද පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

 රන්ජන් කටුගම්පොල
Email ThisBlogThis!Share to TwitterShare to Facebook