fake-web-calls-message

විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාම භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකීරක්ෂා ලබාදීමට ලියාපදිංචි වන්නැයි දන්වමින් ජංගම දුරකතනවලට එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් පරිස්සම් වන්නැයි ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි. අනුකාරක (Fakeweb) වෙබ් අඩවි, සමාජ මාධ්‍ය (SocialMedia) වේදිකා,

කෙටි පණිවුඩ වස්ඇප්, හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් පුද්ගලයන් සමග සම්බන්ධවීමට උත්සාහ කරන බව ද එම ආයතනය කියයි.ඔවුන් විසින් ලබාදෙනු ලබන Links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකතනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර මෙන්ම මුදල් වංචා ද සිදු කරන බවට පැමිණිලි රැසක් ලැබෙන බව ද

සර්ට් ආයතනය සඳහන් කරයි.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය ද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.එසේම විවිධ ජාතික හා ආගමික උත්සව මුල් කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබෙන අතර නොදැනුවත්භාවය හා නොසලකා හැරිම නිසා මෙම අපරාධවලට ගොදුරු වන්නන්ගේ පැමිණිලි දිනපතා වැඩි වෙමින් පවතින බව ද එම ආයතනය කියයි.සැක සහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුණහොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතනවල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙස ද එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රංජන් කස්තුරි