flood-deaths

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරී ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නමැති තරුණයකු වන අතර එම තරුණයා පෙරේදා (03) සවස 20 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමඟ ගංවතුර සිරි නැරඹීමට බෝට්ටුවක ගමන් කර ඇත.



කණ්ඩායම ගමන් කළ බෝට්ටුව විපතට පත් තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටී තිබේ.බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැත. විදුලි සර වැදී ගංවතුරට වැටුණු ලොකුසිංහ ආරච්චිගේ දමිත් කුමාර යන අය බෝට්ටුවේ සිටි පිරිස විසින්ම මුදාගෙන ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
  ලක්මි කුඩලිගම