hakmana-oic-incidenrt

2010 ජනාධිපතිවරණ සමයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට එවකට හක්මන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ මහතා දත් 3 ක් කැඩී යන ලෙස ලේ ගලන තුරු පහරදීමෙන්

මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට පෞද්ගලික මුදලින් රුපියල් 1,50,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසට හිටපු ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.ඊට අමතරව රජයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසට ද නියෝග කෙරිණ. මැතිවරණ නීතිය බල පැවැත්වෙන විටදීත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරිමටත්, ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමටත් පොලිසිය බැඳී සිටින බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.



ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කෙරුණේ හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම් කේ.ඒ. හේමසිරි මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. හක්මන ප්‍රදේශයේ කේ.ඒ. හේම සිරි මහතා ගොනු කර තිබූ මෙම නඩුවෙහි වග උත්තර කරුවන් වශයෙන් එවකට හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ, කොස්තාපල් ආර්.එම්.ඩබ්ලිව්. කේ. රත්නායක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන මහත්වරුන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුදු ප්‍රනාන්දු මහත්මිය විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරු හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම් වෙයි. 2010 වසරේ ජනාධිපති වරණය සඳහා පෙත්සම්කරු ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිරත විය.2009 වසරේ දෙසැම්බර් 19 වැනිදා පෙත්සම්කරු ඇතුළු පිරිසක් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිරතව සිටියදී වග උත්තරකාර පොලිස් නිලධාරීහු පිරිස ජීප් රථයකින් පැමිණ අලවන පෝස්ටර් පිළිබඳ විමසා සිටියහ.

හෙට පැවැත්වෙන දේශපාලන රැස්වීම සඳහා පෝස්ටර් අලවන බව පෙත්සම්කරු ඇතුළු පිරිස කියා සිටියහ. ඒ අවස්ථාවේදී පළමු වග උත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා පෙත්සම්කරු ඇතුළු පිරිසට අසභ්‍ය වචනයෙන් බැණ වැදීය.ඉන් පසුව එම ස්ථානයේ පලංග සිංහ නමැත්තාට පොලිස් නිලධාරීහු පහර දෙමින් ඇද දැමූහ. පෙත්සම්කරු ඊට විරෝධය පළ කිරීම නිසා පළමු වග උත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ මුහුණට පහර දුන් අතර ඒ හේතුවෙන් පෙත්සම් ම්කරුගේ කටින් ලේ ගලන්නට විය.ක්ලාන්තය ද සෑදිණි. ඉන් පසුව වග උත්තරකාර පොලිස් නිලධාරිහු එම ස්ථානයේ තිබූ පෝස්ටර් තොගය තමන් භාරයට ගෙන පෙත්සම්කරු ඇතුළු පිරිසට වෙඩි තබන බවට තර්ජනය කර ඉන් පිටව ගියහ. පසුව පෙත්සම්කරු ග්‍රාමීය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව කොළඹ මහ රෝහලට මාරු කරනු ලැබිණි. එහිදී ඔහුගේ ඉදිරි දත් 3 ඉවත් කෙරිණි.



මෙම නඩුවට උත්තර බදිමින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් කියා සිට ඇත්තේ පලග සිංහ නමැත්තකු අත් අඩංගුවට ගත් නමුත් පෙත්සම්කරු පිළිබඳව කිසිවක් නොදන්නා බවත් මෙය ගොතන ලද කතාවක් බවත්ය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී පළමු වග උත්තරකරු පෙත්සම්කරුට පහරදීම හේතුවෙන් දත් ඉවත් කිරීමට සිදුවී ඇති බව වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වී ඇති බවත් ඒ අනුව ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් අධිකරණ මතයයි.

එමෙන්ම මැතිවරණ නීති ක්‍රියාත්මක වන විටදීත් පොලිස් නිලධාරීන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව අධිකරණයේ මතය විය. ඒ අනුව පළමු වග උත්තරකරු නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම කඩ කර ඇති බවට තීන්දු කරන බව ද ඔහුට පෞද්ගලික මුදලින් රුපියල් 1,50,000 ක වන්දි මුදලක් ද ඊට අමතරව රජයෙන් රුපියල් 1,00,000 වන්දි මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙසට නියෝග කරන බව ද තීන්දුවේ සඳහන් වේ.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙනී සිටියේය. වග උත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ට ආරච්චි මහත්මිය පෙනී සිටියාය.
රන්ජන් කටුගම්පොළ