hambantota-incident

පරණ කෝන්තරයකට බහින් බස් වී හම්බන්තොට සාමෝදාගමදී අතින් පයින් පහර දී 15 හැවිරිදි සිසුවෙකු ඝාතනය කළ 17 හැවිරිදි සිසුවෙකු මේ මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා ඊයේ (06දා) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බන්තොට සාන්ත මේරි ජාතික පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙකු වන හම්බන්තොට ආරබොක්ක පදිංචි 17 හැවිරිදි එම්. අවුෂාන් නැමති අයයි. පහරකෑමෙන් මියගියේ හම්බන්තොට ආරබොක්ක ප්‍රදේශයේම පදිංචි හම්බන්තොට සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මොහොමඩ් ෆයිරෝස් ආනිෆ් මොහොමඩ් නැමති සිසුවාය.



මියගිය සිසුවා හා පහරදීම සිදු කළ බව කියන සිසුවා අතර ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම පහරදීමට හේතුව බව මූලික ව්මර්ශනවලදී අනාවරණය වී තිබේ. මියගිය සිසුවා 05වැනි දින සාමෝදාගම පිහිටි උපකාරක පන්තියකට ගොස් සිටියදී මෙම පහරදීම සිදුකර තිබේ. පහරකෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ සිසුවා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.



සිද්ධිය වූ ස්ථානයට ඊයේ (06දා) පෙරවරුවේ ගිය හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව සිරුර හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාර්වරයා වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියම කළේය. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු මේ මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අනෙකුත් බන්ධනාගාර රැඳවියන්ගෙන් වෙන්ව තබන ලෙසටද අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාර්වරයාට නියම කළේය. සැකකරු වෙනුවෙන් නීතිඥ ශේරා රශීන් මහත්මිය පෙනී සිටියාය.
 නුවන් ජයසේකර