hanwella-incident

පාසල් සිසුවියක අතගෑවයි පෞද්ගලික පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. මෙම දැරිය 14 වැනි දින පාසල් නොගොස් හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික පන්තියකට පියාගේ ත්‍රිරෝද රථයෙන් පැමිණ පන්තිය නිමා වී පස්වරු එකට පමණ ආප‍ේ නිවස බලා යාමට ඇගේ පියා ත්‍රිරෝද රථය එන තෙක් හංවැල්ල රාජසිංහ විද්‍යාල මාවතේ පියා ඉදිරියට හමුවන තුරු පාගමනින් යමින් සිටියදී යතුරු පැදියක යමින් සිටි පුද්ගලයකු ඇගේ ඉදිරියට පැමිණ එක්වරම එම හිංසනය කර පලා ගොස් ඇත.



භීතියටත් වේදනාවටත් පත් දැරිය වේදනාව ඉවසා ගත නොහැකිව හඬමින් සිටියදී පියා පැමිණ තිබේ. හංවැල්ල දෙසට යතුරු පැදියෙන් පලාගිය සැකකරු නොබෝ වේලාවකින් ආපසු එම ස්ථානයෙන් යාමට පැමිණ ඇත. දැරිය පියාගේ ත්‍රිරෝද රථයට ගොඩවී සිද්ධිය පවසමින් සිටියදී තමන් දෙසට එන්නේ පලාගිය පුද්ගලයා බව හැඳින වහාම පියාට ඔහු පෙන්වා තිබේ. එය ඇසූ සැනින් ත්‍රිරෝද රථයෙන් සැකකරු එන මග හරස් කර ඔහු අල්ලා ගැනීමට සමත් වී ඇත. මොහු තිස් දෙහැවිරිදි එක් දරු පියෙකි.

බුලත්සිංහල, කිරිබත්ගොඩ, කැලණිය ඇතුළු ප්‍රදේශ කීපයක පෞද්ගලික පන්ති ගුරුවරයකු බව පොලිසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.ඔහු හංවැල්ල ප්‍රදේශයේ හිතවතකු හමුවීමට පැමිණ ඇති අතරතුරදී පාරේ යමින් සිටියදී මෙම නොහොබිනා ක්‍රියාව කර ඇත. අල්ලා ගත් සැකකරු සිද්ධිය ඇසී එම ස්ථානයට පැමිණි තවත් කිහිප දෙනෙකුගේ සහය ඇතිව ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ම හංවැල්ල පොලිසියට කැඳවාගෙන ගොස් පොලිසිය භාරයට දී පැමිණිලි කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
එච්.එස් ඒ.නන්දන