හසලක පහේ ඇළ ප්‍රදේශයේ පාසල් දරුවකු අහුලාගත් අත්බෝම්බයක් රැගෙන පෞද්ගලික පන්ති ගිය පුවතක් හසලක පොලිසියෙන් වාර්තාවේ. පසුව පෞද්ගලික පන්ති ගුරුවරයා එය ආරක්ෂිතව පොලිසිය බාරදීමට කටයුතු කර ඇති අතර අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට අධිකරණ නියෝගයක් ගැනීමට පියවර ගෙන තිබෙන බව හසලක පොලිසිය සඳහන් කරයි.
ප්‍රදේශයේ පාසලක 12 වසර ඉගෙනුම ලබන හසලක පහේ ඇළ යාය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දරුවකු සිය නිවෙසට ආසන්නයෙන් ගලා බසින අතුරු ඇළක නාමින් සිටිය දී ඉවුරක තිබී මෙම ජීව අත් බෝම්බය හමු වූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. දරුවා නිවැසියන්ට මේ බව නොකියා පසු දින නිවෙසේ සිට කිලෝ මීටර් 5ක පමණ දුර හසලක නගරයේ උපකාරක පන්තියට පන්තියට පැමිණ එහි ගුරුවරයාට පෙන්වා ඔහුට එය දී ඇත. ගුරුවරයා මෙය ජීව අත් බෝම්බයක් බවට තහවුරු කර ගැනීමෙන් පසු ඉකුත් 17 වැනිදා සවස ආරක්ෂිතව රැගෙන විත් පොලිසියට භාරදී ඇත.
ජීව අත් බෝම්බය පොලිසියට ලැබීමෙන් පසු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්රී මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ. ඩබ්ලිව්. රාජපක්ෂ මහතා සමග සැරයන්වරුන් වන
ඒකනායක (18196), ජයසූරිය (19552), කුමාරසිංහ (18202), කොස්තාපල් ප්‍රියලාල් (95823) සහ කාන්තා කොස්තාපල් රුචිකා (9509)නිලධාරීහු අත් බෝම්බය හමු වූ ස්ථානයට වහා ගොස් විමර්ශනයක් ආරම්භ කළහ.පොලිසිය භාරයට ගනු ලැබූ ජීව අත් බෝම්බය විශේෂ කාර්ය බළකාය වෙත භාරදී එය නිෂ්ක්‍රීය කිරීමට අවශ්‍ය අනුමැතිය අධිකරණයෙන් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශනයක් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය සඳහන් කරයි.
සුනිල් ඒකනායක
0 Comments