hash-drug-university-student

සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.හෝමාගම, උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක නිවසක් රුපියල් පනස් දහසක කුලී පදනම මත ලබාගෙන දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. ඒ අනුව මෙම නිවසේ රැඳී සිටින සරසවි සිසුවකු මත්ද්‍රව්‍ය ජාවාරමක් කරගෙන යන බවත් ඒ සඳහා සැක කටයුතු පුද්ගලයන් දිනපතා රාත්‍රී පැමිණෙන බවත් පවසමින් කොස්තාපල් 97049 දිසානායක නිලධාරියාට ලැබී තිබූ තොරතුරක් අනුව

නිවස වැටලීමට යන අවස්ථාවේදී ඊට යාබදව රැඳී සිටි දෙදෙනකු පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙක බැගින් අත්අඩංගුවට ගෙන තිබුණි.පසුව ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන්නේ මහල් නිවාස සංකීර්ණයේ කුලී පදනම මත නිවස ලබාගෙන සිටින 'බකා' නමින් හඳුන්වන සරසවි සිසුවකු බවට තොරතුරු අනාවරණය වීමත් සමග උපාය දූතයකු යොදවා බකා නමැත්තාගෙන් හෑෂ් ග්‍රෑම් දෙකක් මිලදී ගැනීමට සලස්වා ක්ෂණිකව වැටලීමක් සිදුකර ඔහු සන්තකයේ තිබී තවත් හෑෂ් ග්‍රෑම් 25 බාරයට ගත් බව පොලිසිය කියයි.

පසුව ඔහුට මත්ද්‍රව්‍ය ලබා දෙන කඩවත ප්‍රදේශයේ තවත් සරසවි සිසුවකුට සැකකරු හරහා දුරකථන ඇමතුමක් දී ගෙන්වාගෙන ඔහු සන්තකයේ තිබී තවත් හෑෂ් ග්‍රෑම් 100 අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.ඒ අනුව රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් හෑෂ් ග්‍රෑම් 131, විද්‍යුත් තරාදියක්, කතුරක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා භාවිත කරන ඉටිකොළ තොගයක්, ගිනිපෙට්ටියක්,

මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය බහාලන ප්ලාස්ටික් බඳුනක්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 29,000 මුදලක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම මහල් නිවාස සංකීර්ණයේ මීට මාස පහකට පෙර හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරමින් සරසවියේම අධ්‍යාපනය ලබන සිසුවියන් සිව් දෙනකු ඇතුළු විසි හත් දෙනෙකු උපන්දින සාදයකට සහභාගිවී සිටියදී කහතුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සිද්ධියට මෙම සැකකරුවන් සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වනු ලබයි.සිද්ධියට සම්බන්ධ මිනුවන්ගැටේ (25) රන්මුතුගල (24) කැකිරාව (23) ප්‍රදේශවල පදිංචි සරසවි සිසුන් සහ පිටිපන උතුර පදිංචි (30) හැවිරිදි තැනැත්තකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව පොලිසිය කීය.

හෝමාගම ප්‍රියන්ත ජයලත්