horana-incident

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටි නිවසකට ඊයේ (11දා) අලුයම මුහුණු ආවරණය කරගෙන කළු පාටට හුරු ඇඳුම් ඇඳ ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු  නිවසේ සිටි එක් කාන්තාවකට නිවසේ ඇඳ මතදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත පදිංචිව සිටි උඩකන්දගේ රමණී සකුන්තලා (අවු.58) නැමත්තියකි. ඝාතනයට ලක්වූ කාන්තාව බංග්ලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිටින අතර, ඔහු එරට පදිංචිව සිටින බවත් ඇය බාල සහෝදරිය සමඟ මෙම නිවසේ ගත කරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වන බාල සහෝදරියද මීට සති තුනකට පමණ ඉහත දී මෙම නිවසට පැමිණි නවාතැන් ගෙන ඇති අතර, පෙරේදා (10දා) රාත්‍රී 7.30ට පමණ ඔවුන් දෙදෙනා දොරවල් වසා නින්දට ගොස් ඇති බව නැගණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාව නිවසේ කාමරයකත් ඇයගේ නැගණිය මුළුතැන්ගේ ආසන්නයේ කාමරයක නින්දට ගොස් තිබූ බවත්,

අලුයම 1.30 ත් 1.45 ත් අතර කාලයේදී නිවස තුළට ඇතුළු වී තිබූ සාහසිකයන් දෙදෙනා බාල සහෝදරියගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා යාබද කාමරයට ගොස් ඇයගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කර පලා ගොස් තිබූ බව පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඝාතනයට ලක් වූ කාන්තාව පැලද සිටි රන් භාණ්ඩ ඒ ආකාරයෙන්ම තිබෙන නමුත්, පැමිණි ඝාතකයන් නිවසේ අල්මාරී ඇද දමා එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් රැගෙන යන්නට ඇතැයි පොලීසිය සැක කරයි.ඝාතකයකන් නිවසට ඇතුළු වූ ආකාරය සැක සහිත බවත් කිසිදු දොරකට හෝ ජනලයකට හානි වී නොතිබූ බවත් පොලීසිය සදහන් කරයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)