italy-mary-mawathagama-death

 ඉතාලියේ සිට පැමිණ මාවතගම පිලැස්ස මාස්වැව ලිපිනයේ පසුගිය සතියක පමණ කාලයක් තනිව පදිංචිව  සිටි මාරි රූඩ් පෙරේරා නමැති 62 හැවිරිදි කාන්තාවක නිවස තුළදීම  කපාකොටා ඝාතනය කර තිබේ.


දෙදරු මවක වන එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ඉතාලියේ පදිංචිව සිටින අතර ඇය කලක් ඉතාලියේ රැකියාවක නියුතුව සිට පසුගිය 29 වන  දින ලංකාවට පැමිණ සිටියදී මෙම අවාසනාවන්ත ඝාතනයට ලක්ව ඇති බව පැවසේ.
මෙම කාන්තාව මරා මුදල් හෝ වස්තුව පැහැරගෙන ඇති බව පොලිසිය කළ විමර්ශන වලදී අනාවරණයවී ඇත. එසේම මෙම ඝාතනයට හේතුවූ නිධානයක් හා සම්බන්ධ තොරතුරුද ලැබී ඇත.

භික්ෂුවක් සමඟ පැමිණි පුද්ගලයන් කීප දෙනෙකු නිධානයකින් ලබාගත් බව කියන මැණික් හෝ රන් කැබලි (මරන්චි) පෙන්වා ඒවා එම කාන්තාවට ලබාදී රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් ලබාගෙන ඇති අතර

එම පිරිස මැදිරිගිරිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවටත් ඔවුන් මෙම ඝාතනයට සම්බන්ධ විය හැකි බවටත් පොලිසිය අනුමාන කරයි.
මෙම කාන්තාව තනිව නිවසේ ගත කරන්නට පෙර දින කිහිපයේ එම නිවසේ සේවයට පැමිණ සිටි යුවළක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වන අතර මේවනවිට එම යුවළ අතුරුදන්ව ඇතැයි පැවසේ.
පොලිස් නිල සුනඛයන් යොදා සිදු කළ මෙහෙයුමකදී ඝාතනයට ලක්වූ කාන්තාව සිටි නිවස ආසන්නයේ පිහිටි කුඹුරක තිබී පාවහන් ජෝඩුවක්ද පොලීසියට හමුවී තිබේ.

මේ වනවිට ඝාතනයට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් මෙන්ම ඔවුන් පැමිණි බව කියන වාහන සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බැවින් මාවතගම පොලීසිය සමඟ තවත් පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.