jaffna-accident

යාපනය නුවර ඒ-9 මාර්ගයේ පණිච්චන්කුලම ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි රථයක් පෙරේදා (25) රාත්‍රියේ එකිනෙක ගැටී තිදෙනකු මියගොස්, තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව මාන්කුලම පොලිසිය කියයි.යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් මාන්කුලම,

පණිච්චන්කුලම ප්‍රදේශයේ මාර්ගය අසල නවතා ඇති අතර, පසුව එහි රියැදුරු හා කොන්දොස්තරවරයා ඇතුළු මගීන් කිහිප දෙනකු බසයෙන් බැස කාර්මික දෝෂය පරීක්ෂා කරමින් සිටියදී පසුපසින් පැමිණි ලොරි රථය බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවැසීය.

අනතුරින් බස් රථයේ රියැදුරු සහ තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ලොරි රථයේ රියැදුරු සහ බස් රථයේ මගියකු බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.අනතුරින් මියගොස් ඇත්තේ, යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව ද කියයි.

ලොරි රථයේ රියැදුරුට වේගය පාලනය කරගැනීමට

නොහැකිව අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.මියගිය තිදෙනාගේ සිරුරු කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය