jaffna-mbbs-fake-doctor

යාපනයේ සුන්නාගත් ප්‍රදේශයේ තරුණයෙක් තමා වෛද්‍යවරයකු ලෙස හඳුන්වා දී ඒ සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර විදේශගතව සිටින පුද්ගලයන් ඉලක්ක කර රුපියල් ලක්ෂ ගණනක වංචාවක් සිදු කරමින් සිටියදී ඊයේ හසුවිය.මෙම තරුණයා නගරයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනයේදී ඊයේ (03) අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසියට ඔහුගේ දුරකථනයේ කාන්තාවන් රැසකගේ සමීප වීඩියෝ සහ ඡායාරූප තිබූ බවට තොරතුරු හෙලිකරගන්නට හැකිව ඇත. ඔහු ඒවා භාවිත කර ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.



සැකකරු පාසල් සිසුවියන් රැසක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත. ඔහු තමාට වඩා වයසින් වැඩි කාන්තාවන් සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වා ඔවුන්ට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනක් ලබා ගත් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තරුණයා පවුම් 15ක ස්වර්ණාභරණ පැළඳ සිටි අතර වියදම් කිරීමට රුපියල් ලක්ෂ 5ක මුදලක් තිබී ඇත. එමෙන්ම නවීන පන්නයේ ජංගම දුරකථන 5ක් සහ බැංකු කාඩ්පත් රැසක්ද පොලිසිය සොයාගෙන තිබෙයි.



අදාළ තරුණයා පොලිස් ස්ථානයේ රඳවාගෙන පරීක්ෂණ සිදුකරන අතරවාරයේ ඔහු යාපනයේ සිදුවූ ව්‍යාජ ඉඩම් වංචා ඇතුළු විවිධ සිද්ධීන්වලට සම්බන්ධ බවටද අනාවරණය වී තිබේ.

ඒ සමගම එම තරුණයාගේ බැංකු ගිණුම් හා වත්කම් පිළිබඳවද විමර්ශනය කර අදාළ තරුණයා ගනුදෙනු හා මුදල් හුවමාරුවලට සම්බන්ධ වූයේ කා සමඟද යන්න සොයා බලා අදාළ පුද්ගලයන් විමර්ශනයට ගෙන ඒමට පොලිසිය පියවර ගෙන තිබේ.
මෙම තරුණයා තනිව වංචනික ක්‍රියාවලට සම්බන්ධ නොවූ අයෙකු බවත්, ඔහු පිටුපසින් සිටි විශාල කල්ලියක් මෙම වංචාවට උදව් කරන බවත් පොලිසිය සැකකරයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත.