job-fraud-nabbed

රට පුරා පුද්ගලයන් 119 දෙනකු රවටා රුපියල් කෝටි 41කට වැඩි මුදලක් වංචා කර ඇතැයි කියන අන්තර් ජාලයේ සැරිසරන ව්‍යාජ රැකියා නියෝජිතයන් පිරිසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් කළ විමර්ශනයකදී මේ තොරතුරු අනාවරණය වී ඇත. අන්තර්ජාලයේ ෆෙස්බුක් ඔස්සේ හඳුනාගෙන තිබූ ව්‍යාජ රැකියා නියෝජිතයන් යුරෝපයට, ඕස්ට්‍රේලියාවට, ජපානයට, ඉතාලියට, නවසීලන්තය සහ ප්‍රංශය වැනි සංවර්ධන වූ රටවලට යවන බවට පොරොන්දු වී

මෙලෙස මුදල් වංචනික ලෙස රවටා ලබාගෙන ඇතැයි කියති.

මෙම ව්‍යාජ රැකියා නියෝජිතයන් පැමිණිලිකරුවන්ගෙන් පිරිසක් රවටා මුදල් ගැනීමෙන් පසු ඔවුන් තාවකාලික වීසා බලපත්‍ර සකස් කර ඉන්දියාව, සිංගප්පූරුව සහ ඩුබායි රාජ්‍යයට රැගෙන ගොස් අතරමං කර දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙවැනි පැමිණිළි 95ක් ඉකුත් වසරේදී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබී තිබිණි. එසේම මේ වසරේ මේ දක්වාද මෙවැනි පැමිණිලි 45 ක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී ඇත. පැමිණිලිකරුවන්ගෙන් ඇතැමෙක්

මීගමුව පොලිස් කොට්ඨාසයේ පදිංචිකරුවෝ වෙති.

තිස්සමහාරාමය, ගල්නෑව, මීගමුව ප්‍රදේශවල ව්‍යාජ රැකියා නියෝජිතයන් පිරිසකට එරෙහිව ද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මෙසේ පැමිණිලි කර ඇත.මෙවැනි වංචනික රැකියා නියෝජිතයන් ලෙස පෙනී සිටි පුද්ගලයන් 83 දෙනෙකු ගිය වසරේදීත් තවත් 24 දෙනකු මේ වසරේදීත් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කර ඇත.මේ පිළිබඳව අදහස් දැක්වූ මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ දී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි පිළිගත් රැකියා නියෝජිත හරහා පමණක් ඒ කටයුතු කර ගන්නා ලෙසට ඉල්ලීමක් කළේය.


 ටී.කේ.ජී.කපිල