kalums-wife-who-died-in-the-Ederamulla-train-accident-with-an-unknown-cause-died-of-a-heart-attack-at-the-funeral-home

කොළඹ නුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය ස්ථානය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී පසුගියදා (08) උදෑසන සිදුවූ මාරක දුම්රිය අනතුරින් කාර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙකු හා  කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
ඊයේ වනවිට වාර්තාවන්නේ මෙලෙස මියගිය බස් හිමි ව්‍යාපාරික කැළුම් තුෂාර සිල්වා නමැති විවාහක දෙදරු පිය‍ාගේ අවමංගල උත්සවය අතරතුර හදිසි හෘදයාබාධයක් වැළඳී ඔහුගේ බිරියද මියගොස් ඇති බවයි.

 කැලණියේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ලියනගේ කැළුම් තුෂාර සිල්වා
 සහ වත්තල ගොංගිතොට ජාතික නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි කිරුළපන පෞද්ගලික ආරක්ෂක ආයතනයක කාන්තා ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවයේ නිරතව සිටි නිමාලි නිසංසලා රත්නායක නමැති 44 හැවිරිදි විවාහක එක්දරු මවක එඩේ‍රමුල්ල අනතුරින් මියගොස් තිබුණි.




දුම්රිය හරස් මාර්ගය පසුකර යෑම සඳහා පැමිණ අනතුරු සීනුව සහ ආලෝක සංඥාව ක්‍රියාත්මක වෙමින් තිබියදී එය නොතකමින් යන්නට උත්සාහ කළ වාහනය දුම්රියේ හැපිණි.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 200 ක් පමණ කොළඹ දෙසට ඇදී ගොස්  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියකද ගැටුන අතර බරපතළ තුවාල ලැබූ රථය තුළ සිටි දෙදෙනා එම ස්ථානයේදීම මිය ගියේ වාහනය පොඩිපට්ටම්ව යාමෙන් පසුවය.

රථය පදවාගෙන පැමිණි පුද්ගලයා ගේ හැදුනුම්පතේ සඳහන් වූ ලිපිනයට කළ දැනුම් දීමකින් පසුව බිරිය හා ඥාතීන්  පැමිණ මළසිරුර හඳුනාගත් නමුත් රථයේ සිට දුම්රිය අනතුරින් මියගිය කාන්තාව තම පවුලේ ඥාතියෙකු හෝ දන්නා හඳුනන අයෙක් නොවන බව මියගිය කැළුම් තුෂාර ලියනගේ මහතාගේ බිරිඳ එම අවස්ථාවේ පවසා තිබුණි.
 බස් රථ හිමි  සැමියා 08 වැනිදා උදෑසන 5.30ට පමණ බස් රථයකට රියදුරෙකු සොයා ගැනීමට යන බව නිවසට පවසා පමුණුවිල නිවසින් පිටව ගිය බව සිය සැමියාගේ මළසිරුර හඳුනා ගැනීමෙන් පසුව බිරිඳ පොලිසියට ප්‍රකාශ කර තිබුණි.


අනතුරින් මියගිය කාන්තාව දුම්රියෙන් රැකියාවට යෑමට දුම්රිය ස්ථානයට පැමිණ සිටි බවත් දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය නොවීම නිසා කෙසේ හෝ සේවයට වාර්තා කළ යුතු බැවින් මාර්ගයේ ගමන් කළ වාහනයට ගොඩවූ බව ඇතැමුන් පැවසුවද ඒ පිළිබදව පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් වී නැත.

හදිසි අනතුරින් මියගිය නිමාලී නිසංසලා මීට වසර දහයකට පෙර නීතියෙන් විවාහයෙන් වෙන්ව පෞද්ගලික ආරක්ෂක අංශයක කාන්තා ආරක්ෂක නිලධාරිනියක් ලෙස සේවය කරමින් තම එකම පිරිමි දරුවා සමග වාසය කර ඇති අතර අනතුර පිළිබඳව පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂවරයා විසින් කාන්තාවගේ සැමියාට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි ඔහු තමා නීතියෙන් වෙන්ව සිටින බැවින් මවගේ දේහය පුතුට භාරදෙන ලෙස ඉල්ලා තිබුණි.

කෙසේ නමුත් මාරක දුම්රිය අන­තු­රින් මිය­ගිය ලිය­නගේ කැලුම් තුෂාර සිල්වා මහ­තාගේ බිරිය වන ලියන මොහො­ට්ටිගේ රසෝමා හසන්ති කබ්රාල් මහ­ත්මිය සිය දයා­බර සැමි­යාගේ හදිසි වියෝ­වින් ඇති වුණු කම්ප­නය හේතු­වෙන් හට­ගත් හෘද­යා­ධ­ය­කින් කොළඹ පෞද්ග­ලික රෝහ­ල­කදී හදිසියේ මිය­ගොස් ඇතැයි පෙරේදා වාර්තා විය.

සැමි­යාගේ දේහය නිවෙ­සට ගෙන ඒමෙන් පසු ඇය ඒ අසල රැඳෙ­මින් “අද ඉඳලා මට හෙව­ණැල්ල වෙලා ළඟ ඉන්න කෙනෙක් නෑ... තනි­ය­මයි ජීවත් වෙන්න වුණේ... මමත් ඔයා එක්ක එන­වා­මයි...” යැයි කිය­මින් හඬා වැල­පෙ­මින් සිට ඇත.

කැලුම් තුෂාර සිල්වා මහ­තාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු පෙරේදා (10) සිදු කිරී­මට නිය­මි­තව තිබි­යදී ඇයද දහ­වල් එකො­ළ­හට පමණ පපුව රිදෙන බව පැවසූ බැවින් කඩි­න­මින් කොළඹ පෞද්ග­ලික රෝහ­ල­කට ඇතුළු කිරී­මෙන් අන­තු­රුව මෙසේ අවා­ස­නා­වන්ත ලෙස මිය­ගොස් තිබේ.



පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ රසෝ­මාගේ නිසල දේහය කැල­ණියේ ගෝන­වල පමු­ණු­විල නිවෙ­සට රැගෙන විත් ඇති අතර, අව­සන් කට­යුතු පමු­ණු­විල පොදු සුසාන භූමියේ ඊයේ (11) සිදු කර ඇත.

දුම්රිය අන­තු­රින් මිය­ගිය කැලුම් තුෂාර සහ හෘද­යා­බා­ධ­ය­කින් මිය­ගිය ඔහුගේ බිරිය රසෝමා අසන්ති දරු­වන් දෙදෙ­න­කුගේ මවු­පි­යෝය. මේ ලෙස අන­පේ­ක්ෂිත අන්ද­මින් මවු­පි­යන් සමු ගැනීම දරා­ගත නොහැකි වුවත් එය ඔවුන් දෙදෙ­නාගේ ප්‍රාර්ථ­නාව මත සිදු වූවක් ලෙස බුදු­ද­හම අනුව හිත හදා­ගැ­නී­මට උත්සාහ කරන බව පෞද්ග­ලික උප­කා­රක පන්ති ගුරු­ව­ර­යකු වන පවුලේ වැඩි­ම­හල් දරුවා වන ඔසද මින්සර සිල්වා මහතා පැව­සීය.

මිය­ගිය රසෝ­මාගේ වැඩි­ම­හල් සොහො­යු­රි­යක වන ගීතානි මහ­ත්මිය මේ අකල් මර­ණය සම්බ­න්ධ­යෙන් මෙසේ අද­හස් පළ කළාය:

“මේ දෙන්නා ඉදි­ක­ටු­වයි නූලයි වගේ ඉතාම සම­ඟි­යෙන් ජීවත් වුණා. නංගී කිසිම තැනක තනි­යම යන්නෙ නෑ. මහ­ත්තයා නැති වුණු බව දැන­ගත් වෙලේ පටන් එයා පුදුම දුක­කින් හිටියේ. මේ ඒ දෙන්නා පතා­ගෙන ආපු විදිය. තුෂා­රගේ දේහය ළඟ ඉඳන් එයා කිවු­වෙම මමත් එනවා ඔයා එක්ක යන්න කියලා. ඉතින් එයත් යන්න ගියා.”