kegalle-incident

 කෑගල්ලේ අවුරුදු තුනක දරු­වකු පස්ව­ලට යට වී මිය යෑම සම්බන්ධ සිද්ධියේදී මියගිය දරුවාගේ මව සාක්ෂි දෙමින් පවසා තිබුනේ අනුවේදනීය කතාවකි.

පොඩි පුතා නිවෙස පිටු­පස කපා තිබෙන කානු­වට බහි­නවා කියා ලොකු පුතා කුස්සිය පැත්තෙන් එළි­යට ගියා. ටික වේලා­වක් ගියාට පස්සේ දඩාස් ගාලා ශබ්ද­යක් ඇසුණා. පස්සේ මම කුස්සිය පැත්තෙන් එළි­යට බැහැලා බල­න­කොට ඉවුර කඩා වැටිලා කානුව සම්පූ­ර්ණ­යෙන්ම වැහිලා තිබුණා. මම කෑ ගැසුවා යැයි ඉවු­රක් කඩා­වැ­ටීම නිසා පස්ව­ලට යටවී මිය ගිය දරු­වාගේ මව වෙල­පල්ලේ ආර­ච්චි­ලාගේ නිශාන්ති මහේෂා වෙල­ගෙ­දර මහ­ත්මිය හදිසි මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි දෙමින් ඊයේ (05) පැව­සු­වාය.

මෙලෙස මිය­ගොස් ඇත්තේ කෑගල්ල මොල­ගොඩ මංග­ල­ගම පදිං­චිව සිටි වතීශ් විහස්න හේරත් නමැති වයස අවු­රුදු තුන­හ­මා­රක පිරිමි දරු­වෙකි.

මිය­ගොස් ඇති පිරිමි දරුවා පෙරේදා (04) සවස නිවෙස පිටු­පස කපා තිබුණු කානු­ව­කට බහි­නවා යැයි මවට පවසා ගොස් තිබුණි. පසුව මිනිත්තු කීප­ය­කට පසු ඉවුර කඩා වැටී ආස­න්නයේ කපා තිබුණු කානු­වක සිටි දරුවා යට­වී­මෙන් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබුණි.

මිය­ගිය දරු­වාගේ හදිසි මරණ පරී­ක්ෂ­ණය ඊයේ (05) දහ­වල් කෑගල්ල මහ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක කිත්සිරි රණ­සිංහ මහතා ඉදි­රි­යේදී පැවැ­ත්විණි. එහිදී වැඩි­දු­ර­ටත් මව වන වෙල­පල්ලේ ආර­ච්චි­ලාගේ නිශාන්ති මහේෂා වෙල­ගෙ­දර මහ­ත්මිය මෙසේ ද පැව­සීය. මගේ සැමියා හේරත් මුදි­ය­න්සේ­ලාගේ රෝහණ සමන් බණ්ඩාර. සැමියා කොළඹ ආය­ත­න­යක රැකි­යා­වක් කර­නවා. මම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ රැකියා ප්‍රව­ර්ධන අංශයේ සේවය කර­නවා. අපි දෙන්නා විවාහ වෙලා අවු­රුදු 12ක්. අපට වයස අවු­රුදු 10ක පුතෙක් හා අවු­රුදු තුන­හ­මාරේ පුතෙක් හිටියා. මිය­ගොස් තිබෙන්නේ පොඩි පුතා. වයස අවු­රුදු 10 ලොකු පුතා මොල­ගොඩ ප්‍රාථ­මික විද්‍යා­ලයේ පහ ශ්‍රේණියේ ඉගෙ­නුම ලබ­නවා. අපේ ගෙදර මමයි, සැමි­යයි, දරු­වන් දෙන්නයි පදිං­චිව සිටි­නවා. සැමි­යයි, මමයි රැකි­යා­වට යන නිසා දරු­වන් දෙන්නා බලා­ගන්න ඉන්ද්‍රානී කියලා අපේ ගෙවල් කිට්ටුව අක්කා කෙනෙක් අපේ ගෙද­රට එනවා යනවා.

අපේ නිවසේ පැත්තක බැම්මක් බැඳී­මට පෙරේදා (04) තුන්දෙ­නෙක් උදේ ඇවිත් ඉවුර කපලා මම හවස 5.20ට පමණ ආවාට පස්සේ ගියා. පස්සේ දරු දෙදෙනා බලා ගන්නා ඉන්ද්‍රානී අක්කා ද දරු දෙන්නා මට දීලා ඒ එක්කම ගියා.



සවස 5.30ට පමණ ලොකු පුතා මිදුලේ ඉඳලා ගෙට ආවා. පොඩ්ඩා කානු­වට බහි­නවා කියලා කියා­ගෙන එයා පිටු­ප­සින් එළි­යට ගියා. මම ඒ වෙන කොට පොඩි පුතාට කන්න දෙන්න අඹ ගෙඩි­යක් කප­මින් සිටියේ. දඩාස් ගාලා ඉවුර කපලා තිබුණු පැත්තෙන් ශබ්ද­යක් ඇසුණා. පස්සේ මම කුස්සිය පැත්තෙන් එළි­යට බැහැලා බැලුවා. බල­න­කොට ඉවුර කඩා වැටිලා කපලා තිබුණු කානුව සම්පූ­ර්ණ­යෙන්ම වැහිලා තිබුණා.

මම පොඩි පුතා කෝ කියලා බැලු­වට හිටියේ නෑ. මම හයි­යෙන් කෑ ගැහුවා. අස­ල්වැ­සි­යන් අපේ ගෙද­රට ආවා. දරු­වන් බලා­ගත්ත ඉන්ද්‍රානි අක්කාත් ගෙදර යමින් සිටි බාස්ලාත් මම කෑ ගහන ශබ්දය ඇසී ආපසු හැරී ආවා.

ආපු කට්ටිය අතින් පස් අයින් කරන්න පටන් ගත්තා මම දැක්කා. ටික වේලා­ව­කට පසුව කානුව කෙළ­වරේ පුතා හිට­ගෙන වගේ. පුතා හම්බ වුණා. චමින්ද අයියා පුතා ගොඩට අර­ගෙන 1990 ගිලන් රථ­ය­කින් කෑගල්ල මහ රෝහ­ලට රැගෙන ගියා.

මමත් ඒ පිටු­ප­සින් ත්‍රිරෝද රථ­ය­කින් කෑගල්ල මහ රෝහ­ලට ආවා. නමුත් පුතා බලන්න අපට වෛද්‍ය­වරු අව­ස්ථාව දුන්නේ නෑ.

සවස 6.20ට පමණ පුතා මිය ගිහින් තිබෙ­නවා.

ඊයේ (5) පෙර­ව­රුවේ පුතාගේ දේහය හඳු­නා­ගෙන හදිසි මරණ පරී­ක්ෂ­ණ­යට පෙනී සිටියා. මට මේ මර­ණය ගැන සැක­යක් නෑ. ඉවුර කඩා වැටෙන අව­ස්ථාවේ දී කානුවේ සිටිය දී පස්ව­ලට යට­වී­මෙන් මිය යන්න ඇතැයි විශ්වාස කර සිටි­න­වා­යැයි පැව­සු­වාය.

මෙහිදී මිය­ගිය දරු­වාගේ ලොකු තාත්තා වන හේරත් මුදි­ය­න්සේ­ලාගේ චමින්ද විජය කුමාර හේරත් (ව්‍යාපා­රික) මහතා ද සාක්ෂි දුන්නේය.

කෑගල්ල මුල­ස්ථාන පොලිස් පරී­ක්ෂක නාලක මාගෙ­ද­ර­ගම විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්. පී. වීර­සිංහ නිල­ධා­රින්ගේ උප­දෙස් පරිදි පොලිස් සැර­යන් කරු­ණා­රත්න (42939) පොලිස් කොස්තා­පල් ඩබ්ලිව්. එම්. සී. ලක්ෂාන් (104347) මහ­ත්ව­රුන් විම­ර්ශන කට­යුතු සිදු කලහ.

(චමින්ද ජය­ලත්)