keheliya-fraud-court-case

ස්නායු රෝගීන් සඳහා ලබාදෙන‘ හියුමන් ඉමියුනෝග්ලොබිලීන්’ සහ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් ඉන්දියාවෙන් ආනයනය නොකළ බවත් ඒවා තම සේවාදායකයාගේ වෛද්‍ය රසායනාගාරයේ දී නිෂ්පාදනය කළ බවත් බාල ඖෂධ ගෙන් වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ ගිහාන් රණවක මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට පසුගියදා (03) දැනුම් දුන්නේය.

ඖෂධ නිපදවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැන සිටි බවත් එම අධිකාරියෙන් තම සේවාදායකයාට ලැබුණු අවසරය මත අදාළ ඖෂධ නිපදවා අදාළ ප්‍රතිදේහ එන්නත් මාත්‍රා 3995ක් වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයු බවත් කී නිතීඥ ගිහාන් රණවක මහතා තමන් මෙම ඖෂධ නිෂ්පාදනය කරන්නේ මෙරටදී බව ඖෂධ සැපයීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයේත් සඳහන් කළ බව වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධියට අදාළව මාස 06කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවාගෙන සිටි වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය නමැත්තා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීම හේතුවෙන් අවුරුදු 1, 1/2ක් පමණ වයසැති ඔහුගේ දියණිය නිසි පරිදි වර්ධනය වී නොමැති බව සහ කතා කිරීම නිසි තත්වයේ නොමැති බව කියමින් නිතීඥ දම්මික රත්නායක මහතා කළ ඉල්ලීමක් පිළිගත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ' පියා කළ වරදකට දරුවාට දඬුවම් දිය නොහැකි' බව අවධාරණය කරමින් නඩුවේ සිවුවැනි සැකකාර නෙරාන් ධනංජය නමැත්තා ඇප මත මුදාහැරීමට ද නියම කළාය.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.



සිද්ධියට අදාළව බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරුවන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගතවී), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තෝ රිමාන්ඩ් බාරයට පත් කොට සිටිති.

මෙම පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී ඇප නියම කර ඇති වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන නමැත්තන් ඇතුළු සියලු සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතු මුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල සහ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි යන මහත්වරුන් විසින්, අධිකරණයට ඉදිරිපත් කරන ලදී.නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නිතීඥ අසේල විජේසිංහ මහතා කරුණු දක්වමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ලබාගත් ඖෂධ වර්ගවලට අදාළ වාර්තා හෝ ලේඛන සෞඛ්‍ය ලේකම්වරයා විසින් විමර්ශන නිලධාරීන්ට ලබා දී නැති බවත් විමර්ශන නිලධාරීන්ට ලබාදී ඇති ඇතැම් ලේඛන අසම්පූර්ණ ඒවා බවත් කියමින් පසුගිය



අවස්ථාවේ දී දැනුම් දුන් කරුණු පදනම් කරගෙන අධිකරණයෙන් දුන් නියෝග අනුව සෞඛ්‍ය ලේකම්වරයා විසින් රහස් පොලිසියට අවශ්‍ය වී තිබු ලේඛන සහ වාර්තා නිසියාකාරව ලබාදී ඇතැයි කීය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ලබාගත් ඖෂධවලට අදාළ ලේඛන 05ක් සම්බන්ධයෙන් ඉන්දියානු අනු කමිටුවේ නිලධාරීන් රහස් පොලිසියට කරුණු ඉදිරිපත් කරමින් අදාළ ලේඛන අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් තමන්ට ලබා දී නැති බව දැනුම් දුන් පසු ඒ සම්බන්ධයෙන් කළ දැනුම් දීමකින් පසු සෞඛ්‍ය ලේකම්වරයා වෙනුවට අතිරේක සෞඛ්‍ය ලේකම් (පාලන) විසින් විමර්ශන නිලධාරීන් ඉල්ලු වාර්තා හෝ ලේඛන ලබාදී ඇතැයි ද කී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ අසේල විජේසිංහ මහතා ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ‘රිටොක්සි මැප්' නමැති ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම සම්බන්ධයෙන් වාර්තා මෙන්ම මාධ්‍ය සාකච්ඡාවට අදාළ වීඩීයෝ පටය ද රහස් පොලිසියට බාරදී ඇතැයි පැවසීය.

ඉන්දියානු අනු කමිටුව අනුව කැඳවනු ලැබු ඖෂධ වර්ග 229 අතුරින් ඖෂධ කමිටුව විසින් අවලංගු කළ ඖෂධ වර්ග මොනවාද? එම ඖෂධ අවලංගු කිරීමට හේතු වූ කරුණු මොනවාද? යන්න සම්බන්ධ වාර්තා ද පළමු සැකකරු විසින් වෛද්‍ය සැපයීම් අංශයට ද්‍රාවණ සැපයීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ, ඒ සම්බන්ධයෙන් තැබු සටහන්, ප්‍රකාශ, ඇමණුම්, ආදී සියලු ලේඛන හා වර්තා රහස් පොලිසියට බාරදී ඇතැයිද පැවසු ජ්‍යෙෂ්ඨ රජයේ නිතීඥ අසේල විජේසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නිල මුද්‍රා දෙකක් භාවිත කර ඇති බව පවසා ඇතත් ඔහු නිල මුද්‍රා 09ක් භාවිත කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි කීය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බවත් විමර්ශනවල ප්‍රගතිය ඉදිරි දිනයේ දී වාර්තා කිරීමට පියවර ගන්නා බවත් කී ජ්‍යෙෂ්ඨ රජයේ නිතීඥ අසේල විජේසිංහ මහතා සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ ගිහාන් රණවක මහතා අධිකරණය අමතමින් 2022 ජනවාරි 07 වැනිදා ඖෂධ සැපයීම සඳහා තම සේවාදායකයාට දුන් ටෙන්ඩරයකට අනුව මෙම සිද්ධියට පාදක වූ ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ‘රිටොක්සි මැප්' නමැති ප්‍රතිදේහ එන්නත් සැපයුවේ යැයි කීය.

‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහ ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් ඉන්දියාවෙන් ආනයනය නොකළ බවත් ඒවා තම සේවාදායකයාගේ වෛද්‍ය රසායනාගාරයේ දී නිෂ්පාදනය කළ බවත් මෙම ඖෂධ ලංකාවේ දී තම සේවාදායකයා විසින් නිපදවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැන සිටි බවත් ඖෂධ නිපදවීම සඳහා තම සේවාදායකයා එම අධිකාරියෙන් කළ ඉල්ලීමකට ලැබුණු අවසරය මත අදාළ ඖෂධ නිපදවා අදාළ ප්‍රතිදේහ එන්නත් මාත්‍රා 3995ක් වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයූ බවත් කී නිතීඥ ගිහාන් රණවක මහතා තමන් මෙම ඖෂධ නිෂ්පාදනය කරන්නේ මෙරටඉ දී බව ඖෂධ සැපයීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයේත් සඳහන් කළ බවත් අවශ්‍ය නම් එම ටෙන්ඩරය පරීශීලනය කර බලන්නැයි අධිකරණයේ ඉල්ලීමක් ද කළේය.ලියාපදිංචිය අතහැ........ සහතික නිපදවනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය බවත් එම සහතිකය ව්‍යාජ නම් ඊට වගකීමට තම සේවාදායකයාට හැකියාව නැති බවත් කී නිතීඥ ගිහාන් රණවක මහතා තම සේවාදායකයා මෙම නඩුවේ සැකකරුවකු නොව සාක්කිකරුවකු විය යුතු යැයි ද කීය.

ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නිතීඥ මහතා කියන කරුණුවල නෛතික තත්වයක් නොමැති බවත් සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් දෙන්නේ නම් එහි නෛතික වටිනාකමක් ඇති බව බවත් කීවාය.නිතීඥ මහතාගේ දේශන අනුව මෙය රාජ්‍ය නිලධාරීන් කුමන්ත්‍රණයකට ලක් වූ බව සඳහන් වුවත් තම අධිකරණයට මේ අවස්ථාවේ දී ඒ පිළිබඳ සලකා බැලීමට හැකියාවක් නැතැයි කී මහේස්ත්‍රාත්වරිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් දෙන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට තම අධිකරණයට හැකියාව ලැබෙන්නේ යැයි ද කීවාය.නිතීඥ ගිහාන් රණවක මහතා වැඩිදුර කරුණු දක්වමින් තම සේවාදායකාට එරෙහිව සාක්කි නැති අවස්ථාවක ඔහු අත්අඩංගුවේ සිටිය දී වැරදිකරු කිරීමට විමර්ශන කිරීම නීතීයට පටහැනි හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.



පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය කරුණු දක්වමින් මෙම ඖෂධ ලංකාවේ නිපදවීම සඳහා කිසිවකුට අනුමැතිය දී නැතැයිද ඒ තත්වය යටතේ මෙම ඖෂධය ලංකාවේ නිපදවීමට කිසිවෙකුට හැකියාව නැතැයි ද කෙසේ නමුත් එවැනි තත්වයක් යටතේ මෙම ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පළමු සැකකරුගේ ගිණුමට රුපියල් මිලියන 1444ක මුදලක් බැර වී ඇතැයි ද කීවාය.නඩුවේ සිවුවැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දම්මික රත්නායක මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයාගේ දියණිය ඉපිද මාස 08 ක කාලයක් ගතවන තුරු ඔහුගේ ආදරය, රැකවරණය යටතේ සිටියත් තම සේවාදායකයා මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කළ අවස්ථාවේ සිට මේ වනතුරු මාස 06ක පමණ කාලයක් ඇයට පියාගේ ආදරය, රැකවරණය ලැබී නැතැයි ද ඒ තත්වය හේතුවෙන් මේ වන විට බහ තෝරන වයසේ සිටින ඇයට වචන උච්චාරණය කිරීම අපහසු වී ඇතැයිද ඇගේ වර්ධනය හිටි හැටියේ කඩා වැටී ඇතැයි ද කීය.

පියා රිමාන්ඩ් බාරයට පත්කිරීම හේතුවෙන් මෙම දියණිය දැඩි අවපාතයකට ලක්ව ඇති බව මේ බව කුඩා දියණිය පරීක්‍ෂා කළ විශේෂඥ වෛද්‍යවරියගේ වාර්තාවල මෙන්ම දරුවාගේ වර්ධනය සටහන් කරන ‘ළමා වර්ධන සටහනේ' පැහැදිලිවම දක්නට ඇතැයි ද කියමින් එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ නිතීඥ දම්මික රත්නායක මහතා මෙම තත්වය සුවිශේෂි කරුණක් වශයෙන් ගෙන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය කරුණු දක්වමින් ‘පියා කළ වරදකට දරුවා දඬුවම් නොවිඳිය යුතු යැයිද සිවුවැනි සැකකරු ඉදිරිපත් කළ කරුණු ඉතාම සංවේදී හා මානුෂිය යැයි ද ඒ තත්වය මත සැකකරුගේ නිතීඥවරයා කරන ඉල්ලීමට එරෙහි වීමට පැමිණිල්ල අපේක්‍ෂා නොකරන්නේ යැයි ද කීවාය.

සිවුවැනි සැකකරුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් ‘පියා කළ වරදකට දරුවාට දඬුවම් දිය නොහැකි' බව අවධාරණය කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පියා නොමැති වීම නිසා දරුවා මෙම තත්වයට පත්ව ඇති හෙයින් දරුවාට යහපත සැලසීම සඳහා සැකකරු දරුවාට සමීප කරවිය යුතු යැයි තීරණය කරමින් ඔහුට ඇප නියම කිරීමට තීරණය කළාය.රුපියල් ලක්‍ෂයක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකරු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මසකට දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ සහ රටින් පිටව යෑම තහනම් කිරීමේ කොන්දේසි ද පැනවුවාය.සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය ලබන 14 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය රිමාන්ඩ් බාරයේ රඳවා සිටින සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර