kiriibban-wewa-solar

ඌව පළාතේ සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරි ඉබ්බන් වැවේ ජලතලය මත ක්‍රියාත්මක කිරිමට යෝජිත මෙරට ප්‍රථම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ.මෙම ව්‍යාපෘතියට අදාළ මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාව අධ්‍යනයෙන් අනතුරුව නිශ්චිත වශයෙන් සඳහන් කළ කොන්දේසිවලට යටත්ව මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අනුමැතිය ලබා දීමට තීරණය කළ බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතියට අදාළ මූලික පරීක්ෂණ වාර්තාව රාජ්‍ය ලියවිල්ලක් සේ සලකා මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පාරිසරික

තොරතුරු කේන්ද්‍රයේ තබා ඇති බවද එම අධිකාරිය මගින් මහජනතාවට දන්වා සිටියි.කොරියානු රජය මගින් ඇමෙරිකන් ඩොලර් මිලියන 5.2ක ප්‍රතිපාදන යටතේ මෙගාවොට් එක බැගින් නිෂ්පාදනය කළ හැකි පරිදි කිරි ඉබ්බන් වැවෙහි හා චන්ද්‍රිකා වැවෙහි පාවෙන සූර්ය බලශක්ති බලාගාර දෙකක් ස්ථාපිත කිරීම වෙනුවෙන් දකුණු කොරියානු රජයේ නියෝජිතයන් හා මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර 2023.05.31වැනිදා ගිවිසුම් අත්සන් කෙරිණි.

එහිදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර තිබුනේ 2024 දෙසැම්බර් වන විට මෙම ව්‍යාපෘති අවසන් කිරීමට යෝජිත බවයි.

වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් 2024.03.04 වැනිදා මේ ව්‍යාපෘතිය වෙනුවෙන් එම වැව්තලයන් සුනිත්‍ය බලශක්ති අධිකාරියට ලබාදීම පිළිබඳව වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. මෙම අනුමැතිය ලැබෙන විටත් මෙම බලාගාර සඳහා අවශ්‍ය සූර්ය පැනල හා ඉදිකිරීම් උපකරණ සියල්ලම මෙරටට ගෙන්වා තිබූ බවද මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. මෙකී ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිර්ම පිළිබඳව ගොවි සංවිධාන හා පරිසර සංවිධාන විරෝධය පළකරමින් මීට පෙර විරෝධතා ව්‍යාපාරද පැවැත්වූහ.

ජේ.ඉඳුරුවගේ