kukul-chaminda-arrested

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අවුරුදු 04 හමාරක දරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු  ‘කුකුල් චමින්ද’ නැමැති 45 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු සමඟ ඔහුගේ බිරිඳ සහ අනියම් බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙයි.

දරුවාට බත් කවමින් දරුවාට අමානුෂික ලෙස පහරදෙන පියා වැලිඔය,  සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචි, ධීවර කර්මාන්තයේ නිරතව සිටින, කුකුල් චමින්ද සහ බිබිලේ චමින්ද යන අන්වර්ථ නාම වලින් හැඳින්වෙන්නකු යැයි පොලිසිය සොයාගෙන තිබූ අතර ඊයේ සිට සැකකරු සෙවීමට
පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන ගියේය.

මොහු මෙසේ පහරදී තිබුනේ  නීත්‍යනුකූල විවාහයේ දරුවාට බවට ද තොරතුරු ලැබී තිබුණි.
 සැකකරු නීත්‍යනුකූල බිරිය අතහැර දමා මෙම දරුවා ද රැගෙන පැමිණ වෙනත් කාන්තාවක සමග ජීවත් වන බවට තොරතුරු ලැබුණ අතර මෙම දරුවාට අතිශය අමානුෂික අන්දමින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය වල මේ දිනවල සැරිසරයි.
උඩු කයට ඇඳුමක් නොමැතිව කොට කලිසමක් හැඳගෙන පුටුවක වාඩි වී සිටින හැඩි දැඩි පුද්ගලයකු හොරා කන්න එපා' යැයි කියමින් දරුවාට පිගානක් ළඟ තබාගෙන

බත් කටක් කවන වාරයක් පාසා වැරෙන් අතින් පහර දෙන අයුරු එම වීඩියෝවේ දක්නට ඇත.

මුහුණ හරහා ගසන සෑම වාරයක් පාසාම දරුවා විසි වී ගොස් වැටෙන අයුරු ද, නැවත කැඳවා බත් කටක් කවා නැවත පහරදෙන අයුරු ද එම විඩියෝ වේ දක්නට ඇත.හොරා කන්න එපා යැයි කියමින් ඉතා අසභ්‍ය වචනයෙන් බැණ විදිමින් මෙම පහරදීම සිදු කරන බවද දක්නට තිබේ.අත දරුවකු වඩා ගත් කාන්තාවක ද මැදි වියේ පසු වන කාන්තාවක සහ තරමක තරබාරු කාන්තාවක ද දරුවාට පහර දෙන වීඩියෝවේ රූප රාමුවල පසුබිමේ සිටින අයුරු දක්නට ඇත.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියට ද මෙම දරුවාට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන රූප රාමු සහිත වීඩියෝ පටය ලැබීමෙන් පසු ඇය විසින් ද විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබුනි.


මෙම වීඩියෝ පටය වැලිඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ඇඹලගම මහතාට ලැබීමෙන් පසු මොහු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට ඊයේ එම නිවෙසට ගොස් තිබූ අතර  සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු  ‘කුකුල් චමින්ද’ නැමැති 45 හැවිරිදි පුද්ගලයා සමඟ ඔහුගේ බිරිඳ සහ අනියම් බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිත බව පොලිසිය පවසයි.