kukul-chaminda-story

 දැරියකට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන්අ ත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කුකුල් චමින්ද නැමැත්තාගේ බිරිද අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරකයන් බියගන්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක යෙදී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි හොරොව්පතාන පොලිසිය පැවැසීය.

ඒ අනුව කුකුල් චමින්දගේ බිරිඳ වන පෑලව ගල් කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාවට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පොලිසිය කියයි.මෙම සැකකාර කාන්තාව මීට වාස දෙකකට පෙර හොරොව්පොතාන නගරයේ කට් පීස් රෙදි කඩයක මුදලාලි කෙනෙකු තමා අතවර කිරීමකට ලක්කළ බවට පවසා හොරොව්පොතාන

පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබුණි.ඒ වන විට හොරොව්පොතාන ස්ථානාධිපතිවරයා පොලිස් නිවාඩු ලබා නිවෙස වෙත ගොස් තිබුණු අතර දුරකනයෙන් ඒ මහතා සම්බන්ධ කරගනිමින් එම පැමිණිල්ල පිළිබඳව දැනුවත් කිරීමට ද පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව ලැබුණු උපදෙස් පරිදි එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පොලිසිය කටයුතු කළේය.

එහිදී මෙම කාන්තාව දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙසට අධිකරණය පොලිසියට නියෝග කර තිබුණි. ඒ අනුව පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාව අනුරාධපුර දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.එහිදී එම කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත තමාට අසනීප වී ඇති බව පවසා එදින වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් නොවී පසුව පැමිණීමට එකඟ වී ඇත. දින කිහිපයකට අනතුරුව පසු නැවත මෙම කාන්තාවට හොරොව්පොතාන පොලිසිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද ඇය වැලිඔය, පදවිය වැනි ප්‍රදේශ වල නෑදෑ ගෙදරකට පැමිණ ඇති බව පවසා දුරකථනය ද විසන්ධි කරමින් පොලිසිය අධිකරණ වෛද්‍යවරයා මගහරිමින් සිටීමට

උත්සහ දරමින් සිට ඇතැයි කියයි.

ඒ පිළිබඳ පොලිසිය දිගින් දිගටම විමර්ශන කරමින් සිටින අතරතුර මෙම පැමිණිල්ල අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරිකයන් රවටා මුදල් ලබාගැනීමක් සිදුකරමින් සිටින බවට කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව පරීක්ෂණ සිදු කළ පොලිසියට වැලිඔය, පදවිය වැනි ප්‍රදේශ වලින්ද මෙවැනිම පැමිණිලි ලැබී ඇති බවට කරුණු අනාවරණය වී තිබූ නමුත් සැකකාර කාන්තාව සැඟවී සිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි.පසුගියදා දැරියකට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධව කුකුල් චමින්ද නැමැති පුද්ගලයා පිළිබඳ මුහුණු පොත මෙන්ම ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමුකර තිබුණි. ඒ අනුව එහි සිටි කාන්තාව පිළිබඳව හොරොව්පොතාන පොලිසිය අවධානය යොමු කළේය.

ඇය පොලිසිය සොයමින් සිටි කාන්තාව බව අනාවරණය වූ හොරොව් පොතාන පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියේ සැකකාර කාන්තාව හමුවී කටඋත්තර ලබා ගත්තේය. එහිදී එම කාන්තාව  විසින් තමන් හොරොව් පොතාන පොලිසියේ කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව පිළිගෙන තිබුණි.ඒ අනුව ඉදිරියේදී අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කරමින් පොලිසිය නොමග යැවීම මුල්කර ගනිමින් හොරොව් පොතාන පොලිසිය නඩුවක් ගොනුකර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හොරොව් පොතාන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්.එන්.අයි. දයානන්ද මහතා පැවසූහ.
 එස්.ජී. උබේපාල