kukul-chaminda-video-donate

වැලිඔය පොලිස් වසමේදී කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය වීඩියෝ කර සැකකරු අනාවරණය කරගැනීමට අවශ්‍ය තොරතුරු දුන් තරුණයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ එම වින්දිත දැරියට රුපියල් 2,50,000 ක බැංකු ගිණුමක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ප්‍රදානය කෙරිණි.

වසර 33 කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරගයේ ශූරතාව දිනාගත් පොලිස් කණ්ඩායමටත් විශිෂ්ට ලෙස තම රාජකාරිය කළ පොලිස් නිලධාරීන් 459 දෙනකු සහ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සේවය අගයා ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයකදී එම තරුණයාට සහ වින්දිත දැරියට එම ත්‍යාග පිරිනැමිණි.එම වින්දිත දැරියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර බැස්ටියන් මහතා රුපියල් 2,50,000ක් සහිත බැංකු ගිණුම පරිත්‍යාග කළේය.එහිදී පොලිස්පති ත්‍යාග අරමුදලින් රුපියල් දෙකෝටි පනස් නව ලක්ෂ තිස් හත්දහස් පන්සීයක මුදලක් සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය සිදුකෙරිණි.



එහිදී සංකේතාත්මකව පොලිස් නිලධාරීන් 232 දෙනකුට ත්‍යාග මුදල් පිරිනැමූ අතර පෞද්ගලික ඔත්තුකරුවන් 16 දෙනකුට ද ත්‍යාග මුදල් හිමිවිය.මෙම අවස්ථාවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී, අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, සංචාරක හා ආයෝජන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, අපරාධ දිසාව බාර හා මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහත්වරුන්, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
 ගයාන් සූරියආරච්චි