එක බලපත්‍රයක් උපයෝගි කරගනිමින් දෙවතාවක් එළ ගවයන් ගෙන යෑමේදී අත්අඩංගුවට ගත් එළ ගවයන් 18 දෙනා රාජසන්තක කොට, ඒ ගවයන් අනුරාධපුර පරසන්ගස්වැව සත්ත්ව ගොවිපොළට ගෙන ගොභාබාර දෙන ලෙසටත්, ප්‍රධාන සැකරුවන් දෙදෙනා වෙන් වෙන්ව ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහරින ලෙසටත් කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා පෙරේදා (13) නියෝග කළේය.
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ගවයන් රැගෙන ගිය ලොරි රථය ලියාපදිංචි අයිතිකරුට බැඳුම්කරයක් මත මුදාහැරීමටද එම රථයෙන්ම ගවයන් ගෙන ගොස් සත්ත්ව ගොවිපළට භාර දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ නාච්චාදූව නව නගරය ලිපිනයේ පදිංචි අබ්දුල් මජීද් මොහොම්මදු හා තිරප්පනේ දෙමටව පදිංචි හසාන් පාකීර් යන දෙදෙනාය. මේ එළ ගවයන් තිරප්පනේ සිට රත්නපුර ප්‍රදේශයට 12 දා රැගෙන යෑමට අවසර ගෙන තිබිණි. ඒ අනුව බලපත්‍රයේ සඳහන් ගවයන් නියමිත කාල සීමාවේදී අදාළ ස්ථානයට බාර දී නැවතත් එම බල පත්‍රය උපයෝගි කරගෙන ලොරි රථය ආපදාවකට ලක් වු නිසා ප්‍රමාද වු බව පවසමින් දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගමන් කිරීමේදී මතු වූ සැකය මත ලොරි රථය 12 දා අලුයම 2.45ට පමණ කුරුණෑගල අධිවේගි පිවිසුම අසලදී නවතා පරික්ෂා කිරීමේදී කාලයක් තිස්සේ පොලිස් ඇසට වැලි ගසමින් කරගෙන ගිය මේ ජාවාරමේ සුලමුල සොයාගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
පළමුව සැකසූ බලපත්‍රවලට අදාළ විවිධ වයස් කාණ්ඩවලට අයත් එළ ගවයන්ගේ පාට හා සකසා තිබෙන හඳුනාගැනීමේ සංකේත දෙවැනි වරට එම බලපත්‍රයෙන්ම ලොරි රථයෙන් ගෙන ගිය ගවයන්ට කිසිදු සමානාත්මතාවක් නැතැයිද පොලිසිය පෙන්වා දෙයි.
කුරුණෑගල අධි වේගය අසල මාවතේ රැඳී රථ වාහන රාජකාරියේ යෙදුණු කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බැහැර හා රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රියංකර දෙදෙනා ඇතුළු සේවයේ නියුතු පොලිස් කණ්ඩායම නිසා මරන්න රැගෙන ගිය මේ ගවයන්ට අභය දානය ලැබුණු නමුත් තිරප්පනේ සිට කැකිරාව, දඹුල්ල,ඉබ්බාගමුව හරහා ප්‍රධාන මාවත් ඔස්සේ කුරුණෑගල නගර සීමාව දක්වාම ගවයන් රැගෙන පැමිණෙන තෙක් එදින මාවතේ සේවයේ යෙදුණු කිසිදු පොලිස් නිලධාරියකුට මේ ගව වංචාවෙ හසු නොවීම පුදුම සහගත බව වයඹ ජ්‍යෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(පොල්පිතිගම - නන්දන කැලේගම)
0 Comments