liyanagemulla-incident

සීදූව ශාන්ත අන්තෝනි පල්ලිය අසල කානුුවක් තුළ තිබූ කාන්තාවකගේ මළසිරුරක් පසුගිය දා සීදුව පොලිසිය සොයාගත්තේය. ඒ, 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත සීදුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුවය. නිලධාරීන් කාන්තාවගේ මළසිරුර දමා තිබූ ස්ථානයට යන විටත් 1990 ගිලන් රථයද එතැනට පැමිණ තිබූ අතර ඔවුන් එම කාන්තාවගේ සිරුර කානුවෙන් ගොඩට ගෙන පරීක්ෂා කර ඇය මියගිය බවට තහවුරු කරගෙන තිබිණි.



සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙන්නේ ඉන් පසුවයි. සීදුව පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කුමාර ඇතුළු කණ්ඩායමක් විමර්ශනවලට එක්ව සිටියහ.

පොලිසිය මූලික විමර්ශන ඇරඹුවේ සිද්ධිය වූ අවට ස්ථාපිත සීසීටීවී කැමරා නිරීක්ෂණය කරමින්ය. දිගින් දිගටම සිදුකරන ලද එම විමර්ශනයේදී එදින අලුයම දෙකට මියගිය කාන්තාව තවත් පුද්ගලයකු සමඟ මාර්ගය දිගේ දබර වෙමින් ගමන් කරන අයුරු නිලධාරීන්ට නිරීක්ෂණය විය.

ඒ ඔස්සේ විමර්ශන ඇරඹිණි. නිලධාරීහු තවදුරටත් සීසීටීවී කැමරා පරීක්ෂා කරමින් මියගිය කාන්තාව හඳුනා ගැනීමට මහත් වෙහෙසක් ගත්හ. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඇය සීදුව ලියනගේමුල්ල, ජුබිලි මාවතේ බෝඩිමක නැවතී සිටින කාන්තාවක් බවට නිලධාරීන් අනාවරණය කරගත්තේය. ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම බෝඩිමට ගියේ මියගිය කාන්තාවගේ තොරතුරු දැන ගැනීම සඳහාය.

බෝඩිමේ සිටියේ මියගිය කාන්තාවගේ සොහොයුරාය. තවත් කුඩා දැරියක්ද බෝඩිමේ විය.

නිලධාරීන් සොහොයුරාගෙන් ප්‍රශ්න කළේය. ඔහුගේ ප්‍රකාශ විමර්ශනයට මහත් පිටිවහලක් වූයේය.

“සර් එයාල ඊයෙ ලියනගේමුල්ලෙ නයිට් ක්ලබ් එකට ගියා. අක්කා යාළුවෙලා ඉන්න අයියගේ බර්ත්ඩේ එක තිබුණෙ ඊයේ. ඒකට බෝඩිමේ පාටියක් දැම්මා. අක්කගෙ යාළුවෝ තුන්දෙනකුයි තව කොල්ලෙකුත් ආවා. සේරම කෑවා බීවා. පස්සෙ තවත් විනෝදවෙමු කියල එයාල නයිට් ක්ලබ් ගියා. මම ගියේ නැහැ.

පාන්දර අක්කගෙ යාළු කෙල්ලො දෙන්නයි කොල්ලයි මෙහෙ ආව. ඒත් අක්කයි අයියයි ආවෙ නැහැ. එයාල ආව බයික් එකේ නැඟල යන්න ගියා. මම ඇහැව්ව අක්ක කෝ, අක්ක ආවේ නැහැ කියල.  අක්ක මඟ දිගට අයිය එක්ක රණ්ඩු වෙවී ආව. එයාලට එන්න කියල අපි ආව කියල එයාල කිව්වා.”

ඔහුගේ ප්‍රකාශයට අනුව සීසීටීවී කැමරාවල සටහන්ව ඇති දේ නිවැරදි බව නිලධාරීන්ට වැටහුණේය. එමෙන්ම මියගිය කාන්තාවගේ සොහොයුරාගෙන් ඇය සමඟ සබඳකම් පැවැත්වූ පුද්ගලයා ගැන තොරතුරු විමසන්නටද නිලධාරීහු අමතක නොකළහ.

පසුව එම සොහොයුරා විසින් මියගොස් ඇත්තේ තම සොහොයුරිය බව හඳුනාගත්තේය.

ඒ අනුව මියගිය කාන්තාව උස්ගොඩමානගේ තිසාරා මධුවන්ති නමැත්තියක් විය. ඇය විවාහක දෙදරු මවක් බවත් පොලිසිය කීය. මධුවන්ති මීට කලින්ද විවාහ වූ තැනැත්තියක් වූ අතර එම දරු දෙදෙනා කලින් විවාහයේ පුරුෂයාට දාව ලැබුණු දරුවන් වූ අතර එම දරුවන් ඇය සමඟ ජීවත් විය.

ගාල්ල, නෙළුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය සීදූව ලියනගේමුල්ල, ජුබිලි මාවතේ බෝඩිමට එන්නේ මෑන්පවර් ආයතනයක රැකියාවක් සඳහාය.

ඇය සිය සොහොයුරාත් වසර දෙකහමාරක දියණියත්, නිරෝෂන් නමැති සැකකරුත් සමඟ එම බෝඩිමේ නතරව සිටියහ. නිරෝෂන් ඇය සමඟ වසර දෙකක පමණ කාලයක් සබඳකමක් පවත්වාගෙන ගියද ඔහු අවිවාහක පුද්ගලයකු විය. ඔහු කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක විදුලි කාර්මිකයකු ලෙස සේවය කළේය.

මෙලෙස තොරතුරු සොයාගත් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වහා කිරිබත්ගොඩ ඔහු රැකියාව කරන හෝටලය බලා ගියේ සැකකරු පලායන්නට කලියෙන් කෙසේ හෝ කොටුකර ගැනීම සඳහාය.

එය සාර්ථක විය.

නිරෝෂන් පොලිසියට කොටු විය. ඒ වන විටත් ඔහු සිටියේ වෙරිමතේය. නිලධාරීන් ඔහුගේ දෑතට මාංචු දැමුවේය.

“ඇයි සර් මේ… මොකද?”

“උඹ අර ගෑනිව මරල. මුකුත් නොදන්නව වගේ ඉන්නව නේද”

නිලධාරීන් එසේ කියද්දී ඔහුගේ වෙරි හිඳුණේ්ය.

“මොනවා මධු මැරිල වෙන්න බැහැ.”

“ඔව් මිනිහෝ මැරිලා. වරෙන් පෙන්නන්න යන්න”

නිලධාරීන් එසේ කියන තෙක් සිය අනියම් පෙම්වතිය ඝාතනය වී ඇති බව ඔහු දැන සිටියේ නැත.

“මොකද වුණේ”

“එයා මාත් එක්ක රණ්ඩු වෙවී ආව. මටත් ගැහැව්වා. බැරිම තැන මම ගලකින් ගැහැව්වා. එයා කානුවට වැටුණා. මම ආවා”

ඔහු නිලධාරීන් ඉදිරියේ කීවේය. විමර්ශන දිගින් දිගටම සිදුවෙද්දී පොලිසිය මධුවන්ති ඝාතනයට හේතු වූ තවත් කරුණු කාරණාද හෙළිකර ගත්තේය.

ඒ අනුව ඉකුත් 27 වැනිදා සැකකරු වන නිරෝෂන් සිය උපන් දිනය සමරා ඇත්තේ මධුවන්ති රැඳී සිටින බෝඩිම් කාමරයේය. සාදයට මත්පැන් බෝතල් කිහිපයක්ද එක්කරගෙන තිබිණි. සියල්ලෝම ගී ගයමින් කා බී සතුටු වූහ. සාදය නිම වෙද්දී රාත්‍රි ‍ෙදාළහද පසුවිය.

“ අපි නයිට් ක්ලබ් යමුද”

එම යෝජනාවට සියල්ලෝම කැමැති වූහ. සියල්ලන්ම සිටියේ හොඳ පදමේය. තවත් විනෝද වීමේ අරමුණෙන් ඔවුන් ලියනගේමුල්ල ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවට යන්නේ ඉන් පසුවය. එහිදීද ඔවුහු රිසි සේ සතුටු වූහ. ඒත් මේ ගමනට මධුවන්තිගේ සොහොයුරා ගියේ නැත. ඔහු බෝඩිමේ නතර විය. සාදයට පිටස්තරින් පැමිණි තරුණියන් දෙදෙනාත් එක් තරුණියක් සමඟ පෙමින් වෙළී සිටි තරුණයාත් මධුවන්තිත් සමඟ නයිට් ක්ලබ් එකට පැමිණ සිටියහ. සියල්ලෝ ගී ගයමින් මධුවිත ගනිමින් සතුටු වූහ. තරුණියක් සිය අනියම් සැමියා වූ නිරෝෂන්ගේ මුවේ සිගරැට්ටුවක් තබන අයුරු දුටු මධුවන්තිට ඇති වූයේ තදබල කෝපයකි. ඇය නිරෝෂන් සමඟ ආරවුලක් ඇති කර ගන්නේ ඒ සමඟය ආරවුල දුරදිග ගියේය. වෙරිමතින් සිටි මධුවන්තිත් නිරෝෂනුත් අතර ඇතිවූ ආරවුල ඔවුන් සමඟ සිටි සෙසු තරුණියන්ටද මහත් වදයක් විය. දෙදෙනාගේ රණ්ඩුව නතර කරන්නට ගත් කිසිදු උත්සාහයක්ද සාර්ථක නොවීය. අවසානයේ ඔවුහු සමාජ ශාලාවෙන් පිටව යන්නට තීරණය කළහ.

ඒ වන විට වේලාව අලුයම දෙකද පසුවී තිබිණි. තරුණියන් දෙදෙනාත් තරුණයාත් මාර්ගය දිගේ ලියනගේමුල්ල බෝඩිමට ඇවිදගෙන යද්දී ඊට පිටුපසින් මධුවන්තිත් නිරෝෂනුත් රණ්ඩු වෙවී කෑකෝ ගසමින් බෝඩිම දෙසට ඇදුණහ.



අවසානයේ ඔවුන්ට කලින් බෝඩිමට පැමිණි තරුණියන් සහ තරුණයා යතුරුපැදියේ නැඟී බෝඩිමෙන් නික්ම ගියේ වෙන කරන්නට දෙයක් නොවූ නිසාය.

“කෝ අපේ අක්කා එයා ආවේ නැහැ”

මධුවන්තිගේ සොහොයුරා එලෙස ඔවුන්ගෙන් විමසන්නේ ඒ මොහොතේදීය.

“අක්කා අයියාත් එක්ක නයිට් ක්ලබ් එකෙත් රණ්ඩු වුණා පාර දිගෙත් රණ්ඩු වෙවී ආවා. උඹල ඕන තරං රණ්ඩු වෙයන් කියලා අපි එයාල දාල ආවා.” සියල්ල එලෙස අනාවරණය කරගත් නිලධාරීන් ඊළඟට හැරුණේ අත්අඩංගුවට ගත් නිරෝෂන් වෙතය.

“ඉන් පස්සේ මොකද වුණේ”

“එයා දිගටම මගෙත් එක්ක රණ්ඩු වෙවී ආවේ. මට ලීයකිනුත් ගැහුවා. කරන්න දෙයක් තිබුණෙම නැහැ මටත් කේන්ති ගියා. එතන තිබුණු ගලක් අරන් මම එයාගේ මුහුණට ගැහැව්වා. එයා වැටුණා. එච්චරයි මම දන්නේ. මම ආව. මම හිතුවෙ නැහැ මැරිල කියල. මම මැරෙන්න නෙමේ සර් ගැහැව්වේ.”

පොලිසිය ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගත්තේය. ඔහු එසේ කීවද පොලිසිය පවසන්නේ සැකකරු කළු ගලකින් ඇගේ මුහුණට වැරෙන් පහරක් ගසා ඇයව මුණින් අතට හරවා මඳ වේලාවක් ගල තදකොටගෙන සිට එතැනින් පලාගොස් ඇති බවය.

කෙසේ වෙතත් මධුවන්ති ඝාතනයට ලක්ව පැය 6ක් යන්නට මත්තෙන් සැකකරු අත්අඩංගුවට ගන්නට අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකිවිය. එසේ නොවූයේ නම් සැකකරු පලායන්නට බොහෝ දුරට ඉඩකඩ තිබූ බව පොලිසිය කීවේය.

මධුවන්තිගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව මහ රෝහලේදී පැවැත්විණි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා, සහකාර පොලිස් අධිකාරි රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක මද්දුම බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.ජී කුමාර මහතා ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක වීරසිංහ පෙරේරා, සැරයන් තරංග (70130), කොස්තාපල්වරුන් වන බණ්ඩාර (27180), රණසිංහ (56302), කුරුවිට (100673), සිල්වා (32140), කාන්තා පොලිස් කොස්තාපල් රාජපක්ෂ යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ. පොලිස් පරීක්ෂණ ඇසුරිනි.

කීර්ති මෙන්ඩිස්