
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීම පෙරේදා (24 වැනිදා) පැවැතිය ද, ජනාධිපතිවරණයේදී එම පෙරමුණ සහාය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නැතැයි පවසා සිටියේය.
පක්ෂයේ විධායක සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, බැසිල් රාජපක්ෂ, ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන, පක්ෂයේ භාණ්ඩාගාරික වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව සහ විධායක සභාව නියෝජනය කරන විශාල පිරිසක් ද පැමිණ සිටියහ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන පමණක් කතා කළ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ අදහස් නොදැක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ කියා සිටියේ හැටනම ලක්ෂයේ ජනවරමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර අනෙක් සෑම දේශපාලන බලවේගයක්ම අයිතිවාසිකම් කියන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මැතිවරණවලට යායුතු බවත් ඊට පක්ෂය නවීකරණය වීමේදී පක්ෂය තුළ තිබෙන මූලික හර පද්ධතිය අමතක නොකළ යුතු බවද ඔහු කීවේය.
මේ අතර, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ සමග එක් විය යුතුද නැද්ද යන්න පිළිබඳව පසුවට තීරණය කරන බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ඕනෑවටත් වඩා අපේක්ෂකයින් සිටින බව ද ඔහු පැවැසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval