mihinthale-incident

මිහින්තලය පුදබිම ආසන්නයේ මරදන්කුලම ප්‍රදේශයේ නවාතැන්පලක සැක කටයුතු ලෙස නවාතැන් ගෙන සිටියදී  හත්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙවර පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක ප්‍රභූවරුන් සහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර පොසොන් උත්සවයට මිහින්තලා පුදබිමට පැමිණෙන අතරතුර මොවුන් යම් අපරාධමය කටයුත්තක් සිදු කිරීමේ අරමුණින් අදාළ ලැගුම්හලේ රැඳී සිටින්නට ඇති බවට සැකයක් පවතින්නේ යැයි පොලිසිය මොවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කියා සිටියේය.



ඇතැම් සැකකරුවන්ට පෙර වැරදි ඇති බවත් සියලු සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් අධිකරණයට ප්‍රකාශ කළ පොලීසිය සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසටද ඉල්ලා සිටියේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සඳහන් කළේ, මෙම අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට පුරවැසියන් හට ලබා දී ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවය.
කෙසේ වෙතත් සැකය මත පමණක් ඇල්ලූ ඔවුන් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුළිකා ද සිල්වා හේවා වසම් මහත්මිය නියෝග කළාය. 

මොවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් මිහින්තලේ පොලීසිය සදහන් කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වෑන් රථයකින් එකම කණ්ඩායමක් ලෙස මිහින්තලය මරදන්කුලම ප්‍රදේශයට පැමිණ ඇති මෙම සැකකරුවන් සහ සැකකාරියන් සැකකටයුතු ලෙස හෝටලයක නවාතැන් ගෙන සිටින බවට තොරතුරක් ලැබුණු බවය.


ඒ අනුව අදාළ හෝටලය පරීක්ෂා කර මොවුන් අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දැනුම් දුන් පොලීසිය ඇතමුන්ට ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ බවද කීවේය.

මෙම සැකකරුවන් කිසිදු අපරාධමය කටයුත්තකට මිහින්තලයට නොපැමිණි බව අධිකරණයට අවධාරණය කළ නීතිඥයන් ඔවුන් මිහින්තලයට පැමිණ ඇත්තේ යම් යම් වෙළඳාම් කටයුතු සඳහා බවත් මෙම සැකකරුවන් අතරින් ඇතැමුන්ට පෙර වැරදි තිබීම ඔවුනට ඇප ලබා නොදීමට තරම් කිසිදු සුවිශේෂී කරුණක් නොවන බවත් එවැනි පසුබිමක සැකකරුවන් මිහින්තලේ පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම නීතියට පටහැණි ක්‍රියාවක් බව පෙනී යන්නේ යැයිද ඔවුහු සඳහන් කළහ.

ඒ අනුව සිය සේවාදායකයන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද නීතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය,

සියලු සැකකරුවන් ශරීර ඇප මත නිදහස් කරන ලෙසටද නියෝග කළාය. පැමිණිල්ල වෙනුවෙන් මිහින්තලේ පොලීසියේ ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් හේරත් මහතා පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ධනුෂ්ක දහම්පත්, සුනන්ද තෙන්නකෝන් සහ ධනුෂ්ක තරංග යන මහත්වරුන් පෙනී සිටියහ.

මේ අතර මිහින්තලා පොසොන් උත්සවය නොබෝ දිනකින් එළඹෙන බැවින් මෙම සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට දුරකථනය ඔස්සේ නියෝග කර තිබිණ.ඒ, එම සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල්ව සොයා බලා විමර්ශනයක් සිදු කරන ලෙසට මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය.
උපාලි ආනන්ද