mihira-newspaper-end

මෙරට පැරණිම ළමා පුවත්පතක් වූ ‘මිහිර’ මුද්‍රණය නතර කිරීමට ලේක් හවුස් පාලනාධිකාරිය තීරණය කර ඇත. මින් ඉදිරියට මිහිර පුවත්පත අන්තර්ජාලය ඔස්සේ ඊ පුවත්පතක් ලෙස පමණක් එළිදැක්වෙනු ඇතැයි වාර්තා වේ.මේ වන විට වෙළඳපොළට නිකුත් කර ඇත්තේ එහි අවසන් මුද්‍රිත පිටපතයි.


රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් හා කඩදාසි හිඟය කඩදාසි මිල ඉහළයාම ආදී හේතු නිසා රජයට අයත් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ගණනාවක් මුළුමණින් මුද්‍රණය නතර කරන්නට හෝ සතිපතා පළවූ පත්තර මාසිකව මුද්‍රණය කරන්නට 2022 ජුනි මාසයේදී තීරණය කර තිබුණි.
ඒ අනුව දීර්ඝ කාලයක් පුරා අඛන්ඩව පළවූ ‘සරසවිය‘ හා ‘සුබසෙත‘ පත්තර දෙකම 2022 ජුනි 01 වනදා සිට මුද්‍රණය නතර වූ අතර ආරෝග්‍යා, වන්නවානිවිල් (දමිළ), කුට්ටිමුට්ටි(දමිළ) පුවත්පත්ද මුද්‍රණය මුළුමනින් නතර කර අන්තර්ජාල කලාප වලට පමණක් සීමා කෙරිණි.


 බුදුසරණ,තරුණි හා මිහිර පත්තර තුනම 2022 ජුනි සිට මුද්‍රණය වුවත් ඒවා පළවුයේ මසකට වරක් පමණකි.නමුත් දිනමිණ, සිළුමිණ ආදී පුවත්පත්වල වෙනස්කම් නොකෙරිණි.
වසර දෙකක් ඇවෑමෙන් මෙම තීරණ වෙනස්කම් වලට ලක්කර ඇති අතර සුබසෙත නැවත මුද්‍රණය ඇරඹී ඇත.නමුත් මෙතෙක් මසකට වරක් පළවූ 'මිහිර' මුද්‍රණය නතර කර අන්තර්ජාල කලාපයකට පමණක් සීමා කර ඇත.
ළමා පුවත්පතක් අන්තර්ජාලය ඔස්සේ පමණක් පළවීම එතරම් ප්‍රයෝගික කාරණයක් නොවුණත් යම් යම් ආයතනික ගැටලු නිසා මෙම තීරණයට එළැඹී ඇත.
මිහිර පුවත්පත ආරම්භ කරන ලද්දේ 1964 වර්ෂයේදීය.