මොරගහහේන මොරොට්ටාවවත්ත දෙමහල් නිවෙසක් තුළ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු පෙරේදා (13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව එම අංශය සහ මොරගහහේන පොලිසිය ඒකාබද්ධව වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් සමඟ වතුර ඉසීමේ මෝටරයක්, ගල් කැඩීමේ කම්ප්රෙශර යන්ත්‍ර 2ක් , උදලු, අලවංගු, වයර් කෝඩ් හා පූජා භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
53 හැවිරිදි ව්‍යාපාරිකයා සිය නිවෙසේ නාන කාමරයේ අප ජලය බැහැර කිරීම සඳහා අමතර වළක් කැපීමට සුදුසු වේලාවක් බලාගැනීම සඳහා කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියකු හමුවට ගොස් තම හඳහන පරීක්ෂා කිරීමේදී ඔහු පදිංචි භූමියේ තනා තිබෙන නිවෙසේ නාන කාමරය අසල කාමරයක් පිහිටි ස්ථානයේ ඔහුට ආත්ම ගණනක සිට හිමි විය යුතු මැණික් තොගයක් තිබෙන බවට පෙන්නුම් කරන බව මීට මාස කීපයකට ඉහතදී පවසා තිබූ බව ව්‍යාපාරිකයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කියයි. ඒ මැණික් තොගය හිමි කරගැනීමට කටයුතු කර දිය හැකි බවත්, ඉන් අනතුරුව කැණීම් කරන ලෙසත් එම ජ්‍යොතිෂවේදියා යැයි කියා ගත් පුද්ගලයා ව්‍යාපාරිකයා සමඟ පවසා, ඔහු එය එයට කැමැති වීමෙන් අනතුරුව තෙල් කුප්පි කීපයක් සහ කුඩා මුට්ටි කීපයක් ඔහු වෙත උපදෙස් සමඟ දී, ඒ වෙනුවෙන් රුපියල් 3000/= ක මුදලක්ද ගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ව්‍යාපාරිකයා ඒවා නිවෙසට ගෙනැවිත් නාන කාමරයට යාබද කාමරයේ හතර කොනේ බුලත් කොළ මත කාසි කීපයක්ද තබා ඒ මත ජ්‍යොතිෂවේදියා දුන් තබා මුට්ටි කීපය සහ තෙල් කුප්පි කීපය තබා, තවත් පුද්ගලයන් දෙදෙනකුද සහභාගි කරගෙන ඉකුත් අප්‍රේල් 20 දින සිට මේ දක්වා අඩි 25කට ආසන්න ප්‍රමාණයක් දෝනාවක් ආකාරයෙන් අඩි 8ක් පමණ පළලට දිවා රාත්‍රි කැණීම් කර තිබූ බව පොලිසිය කියයි.
පොලිසිය ඊයේ රාත්‍රී නිවෙස වටලන අවස්ථාව වන විටත් සැකකරුවන් තිදෙනා එම ස්ථානයේ කැණීම් කරමින් සිටින අයුරු දක්නට ලැබුණු බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.
මාස කීපයක අතදරුවකුද ඇතුළුව එම දෙමහල් නිවසේ පුද්ගලයන් පස් දෙනකු පදිංචිව සිටින අතර, කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් උපයෝගී කර නොගෙන අනාරක්ෂිත ලෙස මේ කැණීම් කර ඇති බවත්, තවත් දින කීපයක් මේ අයුරින් කැණීම් කළේ නම් හා නිවෙස කඩාවැටී ජීවිත හානි පවා සිදු වීමට ඉඩ තිබූ බවත් පොලිසිය කියයි.
වයස අවුරුදු 27 හා 53 පසු වන සැකකරුවන් මොරගහහේන මොරොට්ටාවවත්ත, කඹුරුපිටිය සහ හොරණ පදිංචිකරුවෝය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පුරාවස්තු ආඥා පනත යටතේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න, පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) චන්න අමරසේකර, (පො.ප) එල්.පී. තිලකරත්න, (පො.සැ) 18397 ලාල් නන්දන, (පො.කො) 80100 අමරජීව මහත්වරු සහ මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) තුසිත වික්‍රමරත්න, (පො.සැ) 41013 කුලතුංග, (පො.කො) 31292 ජීවන්ත, (කොට්ඨාස බුද්ධි පො.කො) 91214 වන්නිනායක මහත්වරු පරීක්ෂණ පවත්වති.
(බණ්ඩාරගම - බිමල් ජයසිංහ)
0 Comments