mulleriayawa-incident

මුල්ලේරියාව ප්‍රදේශයේ හෝටලයක හිමිකරුට අයත් රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සොරාගත් ප්‍රධාන සූපවේදියා ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. එම සැකකරුවන් සොරාගෙන තිබූ රන් භාණ්ඩවලින් කොටසක් වන ග්‍රෑම් 233ක උණු කරන ලද රත්තරන් තොගයක් සහ රුපියල් 20,55,000ක මුදලක් ද පොලිසිය මගින් සොයා ගෙන ඇත.



හෝටලයේ හිමිකරු ඔහුට සහ සිය බිරියට අයත් රන් භාණ්ඩ වැඩි පරෙස්සමට හෝටලයේ ඔහුට අයත් කාමරය තුළ තබා ඉකුත් අප්‍රේල් 13 වැනිදා නුවරඑළියේ සංචාරයකට ගොස් මැයි 3 වැනිදා යළි පැමිණ කාමරය විවෘත කර පරීක්ෂා කිරීමේදී රන් භාණ්ඩ තොගය අස්ථානගත වී ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මුල්ලේරියාව පොලිසිය, එම හෝටලයේ සූපවේදියකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, රන් භාණ්ඩ සොයා ගැනීමට නොහැකි වී තිබුණි.වෙනත් යතුරකින් හිමිකරුගේ කාමරය විවෘත කර සොරාගත් රන් භාණ්ඩ තොගය සූපවේදියා හා එක්ව බුලත්සිංහල, කිරිබත්ගොඩ, මාලබේ හා කොස්වත්ත උගස් හා මිලදී ගන්නා වෙළෙඳසල්වලට විකුණා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබුණි.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ