nalin-bandara-accident

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ගමන් ගත් මෝටර් රථයේ ගැටී අනතුරට පත් වූ තරුණයකු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් සිටියදී ඊයේ (11) මියගිය බව වාර්තා වේ.
නුවර සිට කොළඹ දක්වා නලීන් බණ්ඩාර මන්ත්‍රිවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බවත් වැසි සහිත අවස්ථාවේ දී එය පාලනයෙන් ගිලිහී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් වාර්තා වූ අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරයාද  ගමන් කරමින් සිට ඇතැයිද හෙළි විය.


මෙම අනතුරින් මියගියේ තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු ය.
අනතුර පිළිබඳව පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක්ද පැවතිනි. පසුව එහි රියදුරු බව හඳුන්වාදුන් පුද්ගලයා නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තරුණයාට රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙන ලෙස නියෝග කර රුපියල් 200,000ක ශරීර ඇප මත මුදා හැර තිබිණි.

පසුගිය 03 වෙනි දින මෙම අනතුර සිදුවීමෙන් පසුව තරුණයාගේ පවුලේ සියලු දෙනා මෙන් ම පියා දැඩි කම්පනයකට පත් වී සිටි බව වාර්තා වී තිබිණි. තරුණයාගේ මොළය මිය ගොස් ඇති අතර වකුගඩු සහ අක්මාව පරිත්‍යාග කිරීමට පියා සහ සහෝදරිය එකඟවී තිබුණි.


 තරුණයාගේ වකුගඩු අක්මාව ඇතුළු අවයව ජීවිතය යදින තවත් පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතය ප්‍රදානය කිරීම සඳහා දන් දීම සිදුවිය. තරුණයා ජීවත්ව සිටි කාලයේ සිදුකළ කැමැත්ත මත එය සිදුවිය.

මව අහිමි තරුණයාගේ පියා බරපතල මානසික කම්පනයට පත් වී ඇති බවත් විදේශගතව සිටියදී මේ ආරංචි වී නිවසට පැමිණ ඇති සොයුරිය ද රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බවත් වාර්තා විය.