nalin-bandara-accident

දින අටකට පසුව තරුණයකු මියගිය අනතුරට අදාළ අධි සුඛෝපභෝගී ජීප් රථයේ නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිටි බවට අධිකරණයට කරුණු වාර්තා නොකිරීමත්, එයට අදාළ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව සිදු නොකිරීමත් හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වාර්තා එවන ලෙසට සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් පොලිස්පතිවරයාට යවන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (12) පස්වරුවේ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය. සැකකාර රියැදුරාට පෙර නියම කර තිබූ ඇප වලට අමතරව අලුතින් නැවත දැඩි කොන්දේසි සහිත රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප නියම කළේය.කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගමන් ගත් අධි සුඛෝපභෝගී ජීප් රථයක් පසුගිය 03 වැනිදා රාත්‍රි නිට්ටඹුව කෝන්ගස්දෙණිය ප්‍රදේශයේ දී යතුරු පැදියක හැපී එය පදවා ගෙන පැමිණි තිහාරිය පහළගම ශානුක රවිඳු පෙරේරා නමැති විසි දෙහැවිරිදි තරුණයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ප්‍රකාශයක් නොකරම දින අටකට පසුව ඉකුත් 11 වැනිදා පෙරවරුවේ මිය ගියේය.




අනතුර සිදු වී දින හතකට පසුව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩල රියැදුරකු වන අසංක හසිත බණ්ඩාර ජයවර්ධන නැමැත්තා නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශය විසින් ඉකුත් 10 වැනිදා සාමාන්‍ය අනතුරක සැකකාර රියැදුරකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිඥ සචින්ත කරුණානායක මහතා කරන ලද කරුණු දැක්වීම් වලින් අනතුරුව තුවාලකරු වෙනුවෙන් රුපියල් පනස් දහසක සානුකම්පිත දීමනාවක් ගෙවීමේ කොන්දේසිය යටතේ ශරීර ඇප මත මුදා හැර තිබිණ.මේ අතර පසු දින 11 වැනිදා තුවාලකාර තරුණයා මියයාමෙන් පසුව පොලිසිය වැඩිදුර බී වාර්තාවක් සමග ඇප මත මුදා හැර සිටි සැකකාර රියැදුරා පෙරේදා (12) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළේය.මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙර දින අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාව හා නැවත අලුතින් ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාව පරීක්ෂා කිරීමේදී පළමුව ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිටි බවට සඳහන් කර නොතිබීමත්, අලුතින් ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ අනතුර සිදු වූ අවස්ථාවේ නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජිප් රථය තුළ සිට වෙනත් වාහනයකින් එම ස්ථානයෙන් පිටව ගිය බවට සඳහන් කර තිබීමත්, එම වාර්තා දෙක පිළිබඳව සැකයක් මතු වී නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශයේ උප පොලිස් පරීක්ෂක ජී.ඩී. මංජුල රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේය.


මේ අවස්ථාවේ උපපොලිස් පරීක්ෂක ජී.ඩී. මංජුල රාජපක්ෂ මහතා කරුණු දක්වමින් අනතුර සිදු වී ඇති අවස්ථාවේ පරීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ පොලිස් සැරයන්වරයකු බවත්, පසුගිය 10 වැනිදා සැකකාර රියැදුරා සමග අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව පොලීසියෙන් ගෙනැවිත් දෙන ලද බවත්, එම වාර්තාව තමා ඉදිරිපත් කළ බවත් කියා සිටියේය.




අධිකරණය:- අනතුර සිදු වූ දිනයේ සැකකාර රියැදුරා අධිකරණයට ඉදිරිපත් නොකර දින හතකට පසුව ඉදිරිපත් කළේ කුමන හේතුවක් මත ද?


උප පොලිස් පරීක්ෂක වරයා:- අනතුර සිදු වූ දිනයේ රියැදුරා වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරියක් වෙත ඉදිරිපත් කර ඔහු මත්පැන් පානය කර නොමැති බවට අනාවරණය වීම හේතුවෙන් ඔහු මුදා හැර තිබුණා.


අධිකරණය:- සැකකාර රියැදුරා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩල රියැදුරකු වන නමුත් පළමුව ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ ඒ බව සඳහන් කිරීමකින් තොරව මන්ත්‍රීවරයා එම ජීප් රථයේ සිට පිටව ගිය බව සඳහන් කර නැත්තේ ඇයි?


උපපොලිස් පරීක්ෂකවරයා:- එදින පරීක්ෂණ කටයුතු සිදු කොට ඇත්තේ සැරයන්වරයායි. ඔහු ඒ බව සඳහන් කර නැහැ


අධිකරණය:- සැකකාර රියැදුරා වෛද්‍යවරියක වෙත එදා ඉදිරිපත් කළා නම් කෝ ඒ පිළිබඳව වෛද්‍ය වාර්තාව?


උපපොලිස් පරික්ෂකවරයා:- ඉදිරි දිනයක ඉදිරිපත් කළ හැකි වනවා.


අධිකරණය:- රියදුරන් මත්පැන් පානය කර තිබේදැයි පරීක්ෂා කරන නළ පොලිසිය තුළ නැති ද?


උපපොලිස් පරීක්ෂ කවරයා :- නැහැ පසුගිය අප්‍රේල් මාසයේ සිට නැහැ.


මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවත් කරුණු ගණනාවක් පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අනතුර සම්බන්ධව කර ඇති පරීක්ෂණ අපක්ෂපාතීව කර ඇද්ද යන්න පිළිබඳව අධිකරණයට ප්‍රශ්නයක් මතු වන හෙයින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තා එවන ලෙසට සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් පොලිස්පතිවරයාට යවන ලෙසට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.



පෙර ඇප මත මුදා හැර සිටි සැකකාර රියැදුරාට එම ඇප වලට අමතරව ග්‍රාම සේවා සහතික සහිත ළඟම ඥාතීන් දෙදෙනෙකු අත්සන් කළ යුතු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළේය.ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටු වීමට ද නියෝග කැරිණි. විදේශගත වීමද තහනම් කැරිණි. විදේශගත වීමේ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යැවීමට ද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කැරිණි.නැවත කැඳවීම නොවැම්බර් 13 වැනිදාට කල් තැබිණි. සැකකාර රියදුරා වෙනුවෙන් නීතිඥ සචින්ත  කරුණානායක මහතා පෙනී සිටියේය.නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශයේ උපපොලිස් පරීක්ෂක ජී.ඩී. මංජුල රාජපක්ෂ මහතා පැමිණිල්ල මෙහෙය වීය.

 ආනන්ද ඉ ජයකොඩි