nilwala-kelani-gin-kalu-flood

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිල්වලා, කැලණි, ගිං සහ කළු යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

නිල්වලා ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ (ජූනි 1) රාත්‍රී සිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

නිල්වලා ගඟ පිටබැද්දරින් මහා ගංවතුර තත්වයක අවධානමක් මතුව ඇතැයි අද උදෑසන වාර්තා කර තිබේ.
 නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගැලීමෙන් හක්මන – මුලටියන මාර්ගය දෙයියන්දර ඕවිලාන ප්‍රදේශය ජලයෙන් යට වී ඇත.
මේ හේතුවෙන් කොටපොල සිට මුලටියන හරහා මාතර මාර්ගය මාකඳුර නගරය යට වී ඇත.

කැලණි ගඟ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට සැලකිය යුතු වර්ෂාපතන තත්ත්වයක් පැවතීම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට ද ගංවතුර ඇතිවීමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.
 අද (02) උදෑසන කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් බියගම – කැළණි මාර්ගයේ මල්වාන හන්දිය ජලයෙන් යට වී තිබෙයි.

මීට අමතරව ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය, අක්මීමණ, බද්දේගම සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
 ගිං ගඟ ගාල්ල – මාපලගම ප්‍රදේශයෙන් මේ වනවිට පිටාර ගලමින් පවතින බව වාර්තා විය.


මේ හේතුවෙන් මාපලගම ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවෙමින් පවතින අතර, මාපලගම – පිටිගල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙයි.
ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම, උඩුගම, නාගොඩ, බද්දේගම, ආදී ප්‍රදේශවල පහක් බිම් රැසක් යට වී තිබෙයි.අද (02) උදෑසන 9.00 වන විට ගිං ගඟේ බද්දේගම ජල මාපකයේ අගය මීටර් 04.22ක් ලෙස සටහන්විය..

එමෙන් ම, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව, කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මතුගම - අලුත්ගම ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව ඇතිවූ ගංවතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව තවමත් වසා දමා ඇත.

මේ අතර සිටිනාමලුව මහවැව පිටාරගැලීමනිසා තංගල්ල බෙලිඅත්ත මාර්ගය ජලයෙන් යටවී ඇත.
මොරවක - නෙළුව මාර්ගයේ හතරේ කණුව ආසන්නයෙන් පස් කන්දක් කඩාවැටී ගමනාගමනයට බාධා එල්ලවී තිබෙයි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී ඇත. එමෙන්ම මාතර - යටියන ප්‍රධාන මාර්ගය හිඟුරුපත්වල වේල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙයි.

අධික වර්ෂා තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 9ක නායයෑමේ අවදානම් කලාප තවදුරටත් වැඩිවී තිබෙයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ මෙම අවදානම හෙට උදෑසන 7:00 දක්වා බලාත්මක බවයි. ඒ අනුව කොළඹ, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට තුන්වන අදියර හෙවත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එම ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්මවා වර්ෂාවක් ලැබී ඇති අතර, තවදුරටත් වැසි පවතීනම් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලාබැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීමේ අනතුරු සිදුවිය හැකියි.

ඒ අනුව කොළඹ - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශය, කලුතර - මතුගම, ඉංගිරිය, බුලත්සිංහල සහ පිටබැද්ද බල ප්‍රදේශත්, රත්නපුර - නිවිතිගල, කිරිඇල්ල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, ඇලපාත, අයගම සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලටත් තුන්වන මට්ටමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේය.