nimal-ranil-duminda

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ඊයේ (06) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කළහොත් ඔහුට සහය දැක්වීමට පක්ෂය තුළ විරෝධයක් නොමැති බවයි.





එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේදී කුමක් කරන්නේද යන්න පිළිබඳව පක්ෂය තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලු ප්‍රශ්න අවසන් කර ඇති බව දන්වා සිටි ලේකම්වරයා ගම් මට්ටමේ සිට පක්ෂය යළි ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණයට සූදානම් වෙමින් සිටින බවද පැවසීය.



සන්ධාන රැසක් ගොඩනැගෙමින් පවතින නමුත් විශාලතම සන්ධානය බිහිවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් බව දුමින්ද දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර විධායක ලේකම්වරයාට සහ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරී කමිටුවක් පත්කර ඇති බවත් ඒ අනුව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කටයුතු කරන බවත් ඔහු දැනුම් දුන්නේය.

ලේකම්වරයා මේ අදහස් පළ කළේ කොළඹ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.