peliyagoda-incident

බිරිඳ රට යවා ඇගේ සල්ලිවලින් කකා ඉන්නවා යැයි බැණ වැදීමේ සිද්ධියකට උරණ වූ පුද්ගලයකු ගලකින් ගසා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පෑලියගොඩ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෑලියගොඩ, හිඹුටුවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ජයන්ත ප්‍රසන්න නමැති 56 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 21 වැනිදා බීමතින් සිට ඇති මෙම පුද්ගලයා යාබද නිවසක පදිංචි පුද්ගලයකු හා බහින්බස් වීමක් ඇති කරගෙන බීමතින්ම ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.

එම පුද්ගලයාගේ බිරිඳ විදේශ රටක සේවය කරන අතර ඇගේ වැටුපෙන් කකා බිබී සිටින බවට හා වෙනත් දෑ කියමින් අපහාසාත්මක ලෙස බැණ වැදී ඇති බව පොලිසිය කියයි. ඊට උරණ වූ මෙම පුද්ගලයා බිම තිබූ ගලකින් බීමතින් කෑ ගැසූ පුද්ගලයාට පහර දී ඇත. ගල් ප්‍රහාරයෙන් හිසට තුවාල සිදුවූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (23 වැනිදා) මියගොස් තිබේ. ම

ෙම ඝාතනය සිදුකළ සැකකරු පෑලියගොඩ පොලිසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (24 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. කළුවිතාරණ, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයලත් බණ්ඩාර ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.