piyumi-hansamali-wealth-check-cid

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ කෙටි කලක් තුළ උපයා ගත්තේ යැයි නිරූපිකාවක හා නිළියක වන පියුමි හංසමාලිට එරෙහිව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත රහස් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙන අතර එය විභාග කරන්නට අධිකරණය අවසර ලබාදී තිබේ.
මීට ටික කලකට ඉහත මැණික් ව්‍යාපාරිකයෙකු ලබාදුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත්වූ පියුමි දැන් වාසය කරන්නේ කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් සුඛෝපභෝගි මහල් නිවාස ඒකකයක වන බවත් ආසන්න කාලයේ ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කළ රුපියල් ලක්ෂ අටසීයක රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් පවා ඇය මිලට ගත් බවත් කුරුඳුවත්තේ කෝටි 14 ක තවත් නිවසක්ද මිලට ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇත.


ඇයට මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක් පවතින බවත් ඇයගේ මුදල් ඉපැයීම ප්‍රශ්නකාරී බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
 සමාජ මාධ්‍ය තුළ 'හම සුදු කරන' ක්‍රීම් වර්ගයක් අලෙවි කිරීම සම්බන්ධ ව්‍යාපාරයක් ගැන පමණක් ඇය පවසන අතර මෙතරම් වත්කමක් ඇය උපයාගත් ආකාරය සැකයට තුඩුදෙන බවත් පැමිණිල්ලේ ‍සඳහන් කර ඇත.
ඇගේ බැංකු ගිණුම් 19 ගැනවාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.



රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙසේ නියෝග නිකුත් කළේය.

‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක තවත් නිවසක් මිලදී ගැනීම,කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පැමිණිල්ල බහා තැබීය.