polonnaruwa-incident

මගී ජනතාව බස් රථවල දමා යන හිස් ප්ලාස්ටික් වතුර බෝතල් 11,000කට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් අඩි දහයක් පමණ උසැති චෛත්‍යයක අනුරුවක් ලංකා ගමනාගමන මණ්ඩලයේ පොළොන්නරුව ඩිපෝවෙහි කාර්මික රියැදුරකු වන ආර්.චන්දන විසින් නිර්මාණය කර තිබේ. ඔහු පොළොන්නරුව නව නගරයේ ලිපිනයේ පදිංචි 49 වියැති දෙදරු පියෙකි.

ඔහු විසින් පොසොන් සතියේ නිර්මාණය කළ මෙම චෛත්‍යය අනුරුව සඳහා අනුරාධපුරය සහ දඹුල්ල ඇතුළු අනෙකුත් ඩිපෝවලින් මෙන්ම පෞද්ගලික බස්රථවල දමා ගිය ප්ලාස්ටික් වතුර බෝතල් යොදාගෙන ඇත.



මෙම චෛත්‍යය සඳහා මිලි ලීටර් 500 හා 1000 ප්‍රමාණයේ ප්ලාස්ටික් හිස් බෝතල් ද, කොත් වහන්සේ නිර්මාණය කිරීම සඳහා ලීටර් පහකින් යුත් හිස් ප්ලාස්ටික් වතුර බෝතලයක් යොදා ගෙන ඇත.

මෙම නිර්මාණය සඳහා චන්දන මහතා හට එම ඩිපෝවේ කාර්මික සේවකයින්ගේ සහ රියැදුරන්ගේ මෙන්ම කොන්දොස්තරවරුන්ගේ සහාය හිමිව ඇති අතර එය නිර්මාණය කිරීමට සති දෙකක කාලයක් ගතව තිබේ.

චෛත්‍යය ඉදිකිරීමට තමාට ප්ලාස්ටික් වතුර බෝතලයක් හෝ ලබා දී සහයෝගය දුන් සියලු දෙනාටත්, පොළොන්නරුව ඩිපෝවේ නිලධාරීන්ට මෙන්ම හිතමිත්‍රාදීන්ට තමාගේ ස්තුතිය පිරිනමන බවත් චන්දන මහතා සඳහන් කළේය.
(දුලංජලා අබේසිංහ-දෙහිඅත්තකණ්ඩිය)