poson-drug-seller-anuradapura
අනුරාධපුර ප්‍රධාන පාසලක ගුරුවරියක සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට පත්ව තිබේ.


අනුරාධපුරයට පොසොන් සමය ඉලක්ක කර ගනිමින් පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්හට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි ඔවුනගේ මත් කුඩු ප්‍රවාහනය සඳහා කුඩා යතුරු පැදියක්ද භාවිත කරමින් සිට ඇත.


අනුරාධපුර පාසලක පුහුනු ගුරුවරියක බව කියන ඇය 26 හැවිරිදි වියේ පසුවන්නියකි. කුරුණෑගල වාරියපොළ සිට අනුරාධපුරයට පැමිණ සිටි තැනැත්තියකි. ඇයගේ සැමියා කෑගල්ල ප්‍රදේශයේ සිට පැමිණි 28 හැවිරිදි අයකු වන අතර ඔහු  අනුරාධපුර සංචාරක නිවාඩු නිකේතනයක සූපවේදී සහායකවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙම ජාවාරමට සම්බන්ධව සිටි බව කියැවේ.



අනුරාධපුර පූජා නගරයේ කුට්ටම් පොකුණ ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන්ගෙන වසරකට ආසන්න කාලයක් මෙම ජාවාරම ජයටම කරගෙන ගිය බව පැවසේ.
සැකකාර  යුවළ මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර වසරක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, වර්ෂ පූර්ණය සැමරීම සඳහා මත්කුඩු පැකට්ටු සඳහා රුපියල් 500 සිට 1000ක් දක්වා වට්ටම් ලබා දුන් බවටද පොලිසියට තොරතුරු හෙළි විය.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක් සහ ඇගේ සැමියා සන්තකයේ තිබී හෙරොයින් මතුකුඩු ග්‍රෑම් 80ක ප්‍රමාණයක් තිබුණි.

කුරුණෑගල ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් ලබා ගන්නා මත්කුඩු සැකකාර යුවළ විසින් තොග හා සිල්ලර ගැනුම්කරුවන්හට අනුරාධපුර නගරය හා පූජා නගරයේ මාර්ග අසල විවිධ ස්ථානවල සඟවා තබන බව පොලිසිය කියයි.
අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගත්, වැඩිම හෙරොයින් මත්කුඩු තොගය මෙය බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකාර යුවළ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.