හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදු කිරීමේ චෝදනාවලට අදාළව පවරා ඇති නඩුව පැමිණිල්ල සමාදාන වීමට එකඟතාව පළ කිරීම හේතුවෙන් සංශෝධිත පැමිණිල්ල ඉදිරි දින ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද විවෘත අධිකරණයේදී විභාගයට කැඳවූ අවස්ථාවේ හිටපු විදුලි සෝපාන ක්‍රියාකරු සමරකෝන් බණ්ඩාරයන් අය සමාදාන වීමට කැමත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.
යම්කිසි බලපෑමක් මත මෙලෙස පවසන්නේද යන්න ඔහුගෙන් විමසා සිටි මහේස්ත්‍රාත්වරයා ඔහුට වන්දි මුදලක් අවශ්‍යදැයි ප්‍රශ්න කළේය. එහිදී එබන්දක් අවශ්‍ය නොවන බවත්, කිසිදු බලපෑමක් නොවූ බවත් ඔහු පවසා සිටියේය. මේ සිද්ධියට අදාළව මින් පෙර සාක්ෂිකරුවන් තිදෙනකු සිද්ධිය සමථ කරගැනීමට සූදානම් බව අධිකරණය හමුවේ දැනුම් දී තිබිණි.
පොලිස් මූලස්ථානයේ ජාතික ගීය, භාවනා වැඩසටහන අතරතුර විදුලි සෝපානය ක්‍රියාත්මක නොකරන ලෙස දී තිබූ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එදින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තමාට අවවාද කළ බව සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර තිබිණි.
ඉකුත් 2017 වසරේ අප්‍රේල් 11 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක 1 ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නමැති නිලධාරියාට පහර දීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව 2019.06.02 දා වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා වෙත එම නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර ඇත.
නඩුව විවෘත අධිකරණයේ කැඳවන අවස්ථාවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
(සුභාෂිණී සේනානායක)
0 Comments