range-speaks

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකට කල් දැමීම පිළිබඳව යෝජනාව තමා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැසීය.

ජාතික වශයෙන් වැදගත්කමකින් යුක්ත කරුණක් ජනමත විචාරණයක් මඟින් ජනතාවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බව පැවැසූ මහලේකම්වරයා ඒ අනුව තමාගේ ප්‍රකාශය තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවක් නොමැති බව සඳහන් කළේය.

ජනමත විචාරණයක් කැඳවීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි පරිච්ඡේදයේ 85, 86 සහ 87 වැනි ව්‍යවස්ථාවල පැහැදිලිව දක්වා තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.



පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාලිත රංගෙ බණ්ඩාර මහතා මේ බව කීවේය. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇතැයිද, පරමාධිපත්‍ය අත්හළ නොහැකි යැයිද, පරමාධිපත්‍ය පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් යැයිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවද මහලේකම්වරයා පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන පරිච්ඡේදයේ හතරවන වගන්තිය යටතේ ජනතාව, රජය සහ පරමාධිපත්‍ය යටතේ මනාව විශ්ලේෂණය කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව සහ ජනමත විචාරණයකදී ක්‍රියාත්මක කළයුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 87 (1) හා (2) ව්‍යවස්ථා යටතේ සහ 85 වැනි ව්‍යවස්ථාවේ විශ්ලේෂණය කර ඇතැයිද මහලේකම්වරයා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යා යුතු යැයි ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත්වන බව පැවැසූ හෙතෙම පොළොවේ පය ගසා සිටින පුද්ගලයකු වශයෙන් ජනතාවගේ අදහස කියා සිටි බවත්, එහි වැරැද්දක් නොමැති බවත් සඳහන් කළේය.