ranil-2039-kandy-statement

සුබ ආරංචිය රැගෙන බ්‍රහස්පතින්දා (20) මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදැකීමට  ජනපති රනිල් ගිය අතරදී ඔහු කියූ කථාවක් දේශපාලන ක්ෂෙත්‍රය තුළ කථාබහක් ඇති කර තිබේ.

පළමුව මල්වතු මහ නාහිමියන් හමු වූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැනුවත් කළේය. ගුරුවරුන්ගේ ප්‍රශ්නය, මහනුවර සංවර්ධනය ගැන කතා කළෙ ඉන් පසුවය. ඉනික්බිතිව ජනාධිපතිවරයා ඉදිරිවසර පහළොව ගැන අනාවැකි කීවේය.

මේ ආකාරයට ඉදිරියට නොගියහොත් තවත් වසර පහළොවකින් යළි අර්බුදයක් ඇති වනවා.

‘‘මම ඔබ වහන්සේලාට මගේ අතින් ලියලා දෙන්නම් වසර පහළොවකින් පස්සේ එන අර්බුදය මීට වඩා දරුණුයි. ඔබවහන්සේත් නැහැ. මමත් නැහැ. නමුත් රටේ ජනතාව ඉන්නවා’’ ජනාධිපතිවරයා කීවේය.

(දැන් 75 වන වියෙහි පසුවන රනිල් වික්‍රමසිංහට තව අවුරුදු 15 කින් එනම් 2039 වන විට වයස 90 ක් විය යුතුය.)

 ජනාධිපතිවරයාට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුන්දෙනියේ ධම්ම රතන හිමියන් ප්‍රකාශ කළේ  ‘‘ඔබතුමා නිසා තමයි රට මෙහෙම ගොඩ දා ගත්තේ. මේ පිම්මේ වසර පහක් ගියොත් හරි’’

උන්වහන්සේ කී කතාව මහනාහිමිවරු අනුමත කළහ. ‘‘බය වෙන්න දෙයක් නැහැ. මේ ඉන්නේ ඡන්ද කරන්න හොඳ ටීම් එකක්’’ මුරුන්දෙනියේ ධම්මරතන හිමියෝ යළි කීහ.

පාර්ලිමේන්තුවේදී අධිකරණය ගැන කරපු ප්‍රකාශ ගැන මහා නා හිමියන් විමසූ විට ජනාධිපතිවරයා ඉතා සරලව එය පැහැදිලි කළේ ය. අධිකරණයේ ‘බොනගේන්’ බලපෑමක් ගැන ද එහි සිටි මැති ඇමැතිවරු කරුණු කීහ. ‘‘රාජ්‍ය නිලධාරින් ගැන ප්‍රශ්නයක් තියෙනවා. කච්චේරිවලට දාලා තියෙන කෘෂිකර්ම නිලධාරින්, සංවර්ධන නිලධාරින් මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා. අඩුයි. ගම්වලට යන්නේ නැහැ. මේ ගැන සොයා බලන්න’’ මහා නා හිමියන් මේ බව ප්‍රකාශ කළේ තමන් මුහුණ දුන් අත්දැකීමක්ද සමගිනි.