ranjan-kandy-teacher-case-closed

මහනුවර ප්‍රදේශයේ ගුරුවරියකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ නඩුව වසර 13 ක් තිස්සේ විභාගවීමෙන් පසු ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් ඊයේ නඩුව අවසන් වී තිබේ.

තමාට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනුකර තිබූ අතර රන්ජන් පවසා තිබුනේ මහනුවර නියෝජනය කළ දැනට බන්ධනාගාරගතව සිටින හිටපු ඇමතිවරයකුගේ උසි ගැන්වීම මත මෙම නඩුව දිගින් දිගට ඇදෙමින් තමාට මඩ ගැසීමට භාවිතා කළ එකක් බවය.




තම පෙම්වතා වේශයෙන් පෙනී සිටිමන් විවාහ වන බවට දිවුරා රන්ජන් රාමනායක තම මුදල් වංචා කළා යයි කියමින් නාමල් විජේරත්න නමින් පෙනීසිටි මහනුවර පාසල් ගුරුවරිය මෙම නඩුව අතරතුර ගැටලු කිහිපයකට මුහුණ දුන්නාය.
 ඇගේ හරි නම ඇයටවත් ඔප්පු කරන්නට නොහැකි වීමෙන් 2017 දී ඇය අත්අඩංගුවට පත්වූ අතර කාලයක් ඇප නොලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නටද සිදු විය.
1956 උපත ලද උද්‍යාංගනී දයානී අශෝකමාලී නමිනුත් 1958 දී අශෝකමාලී වින්ද්‍යානි නමිනුත් 1968 නාමල් විජේරත්න යන නමිනුත් නම් තුනකින් පෙනී සිටිමින් ඇයට උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් තුන බැගින් තිබුන බව රන්ජන්ගේ නීතීඥයින් සොයාගත් අතර මහනුවර වංචා විමර්ශන අංශය කළ පැමිණිල්ලකට අනුව මෙම නඩු විබාගය අතරතුර අත්අඩංගුවේ පසුවිය. බරපතල කාරනාව වී තිබුනේ ව්‍යාජ උපන් දිනය මත ඇය රජයේ සේවය දීර්ඝ කරගන්නට තැත්දැරීමය.


ඇය ගුරුවරියක ලෙස පෙනී සිට ඇත්තේ 1968 උප්පැන්නය අනුව යමිනි.එයට අනුව ඇගේ සැබෑ වයස අවුරුදු 11 කින් අඩුකරගෙන තිබූ අතර  මේ හේතුවෙන් වසර 22 ක් තිස්සේ කූඨ ලේඛන ඉදිරිපත් කර රජයේ සේවයේ නියැළීම හා වේතන ලබාගැනීම නිසාද ඇයට චෝදනා එල්ල විය.

රන්ජන් රාමනායක තමාගේ පෙම්වතා ලෙස සිටි බව කියූ මේ ගුරුවරිය ඔහු තමා විවාහ කරගන්නා බවට පොරොන්දු දී ලක්ෂ 10ක මුදලක් ඉල්ලාගත් බවත් එය නැවත නොදී වංචා කළ බවත් පවසා මුලින්ම මහනුවර උසාවියේ නඩුවක් ගොනු කළේ පසුගිය මැතිවරණ සමයක් කිට්ටුවය.
රංජන්ගේ පෙම්වතිය තමා යයි පවසන මේ කාන්තාව තමා දිගු කලෙක පටන් රංජන් හා විවාහවීමේ අදහසින් අශ‍්‍රය කළ බවත් තමාගේ පොරොන්දුව කඩ නොකරන බවට රංජන් දිවුරා කියා සිටි බවත් කියා තිබුණි. කෙසේ වෙතත් තමාට කිසි දිනක මේ කාන්තාව හමු නොවූ බව කියන රංජන් ඇය සමග දුරකතනයෙන් කතා කර ඇති නමුත් විවාහ පොරොන්දු නොදුන් බවත් සිනමා නළු උන්මාදයෙන් පෙළෙන මේ වැනි රසිකාවන් තමාට  ඕනෑතරම් සිටින බවත් කියා තිබුණි.

එම නඩුව විභාග වන අතරතුර රන්ජන් රාමනායක විසින් ඇයට එරෙහිව මිලියන 500 ක වන්දි ඉල්ලා වෙනත් නඩුවක් ගොනු කළේ ඇය තමාගේ කීර්ති නාමයට හානි කරන්නට උත්සාහ කරන බව පවසමිනි.

  ව්‍යාජ ලේඛන සකස්කිරීමේ චෝදනාව මත නාමල් විජේරත්න නොහොත් උදයානි ශ්‍යාමලී ගොනු කළ නඩුව ඊයේ අවසන් වූයේ රන්ජන්ට නිකරුනේ පැවරූ නඩුවක් බව තහවුරු කරමිනි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව එලෙස පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක ඊයේ (12) නියෝග කළේය.