rice-supply-issue

සම්බා හා කීරි සම්බා බිත්තර වී හිඟයක් ඇති වී තිබෙන බැවින්, ඉදිරි කාලයේදීත් කීරි සම්බා හා සම්බා සහල් හිඟය තවදුරටත් පවතින බව ජාතික ගොවිජන එකමුතුව සදහන් කරයි. මේ නිසා මෙවර කන්නයේදී කීරි සම්බා හා සම්බා වගා කර තිබෙන ගොවීන් හරහා ප්‍රමිතියෙන් යුත් වී බිත්තර වී ලෙස ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කළයුතු බවද සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා තවදුරටත් සඳහන් කළේය.



පවතින බිත්තර වී හිඟය නිසා මෙවර කන්නයේදී කීරි සම්බා බිත්තර වී කිලෝවක මිල රුපියල් 500 ඉක්ම වූ මිලකට ආලෙවි වූ බවත්, පසුගිය කන්නවල කීරි සම්බා බීත්තර වී කිලෝවක් අලෙවි වූයේ රුපියල් 300ත් රුපියල් 350ත් අතර මිලකට බවද පැවසීය.කීරි සම්බා සහල් හිඟය නිසා කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 320 ඉක්මවා ගොස් තිබෙන බවත්, මීට අමතරව රට තුළ සම්බා සහල් හිගයක්ද මේ වන විට නිර්මාණය වී තිඛෙන බව පැවසීය. පවතින තත්ත්වය තුළ සම්බා සහල් මිල පවා ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන බවද පැවසීය.

නාඩු, රතු කැකුළු, සුදු කැකුළු වගා කරන ආකාරයටම අමතර වියදමක් නොමැතිව කිරි සම්බා හා සම්බා වගා කළ හැකි නමුත්, පවතින බිත්තර වී හිඟය නිසා ගොවි ජනතාවගෙත් සැලකිය යුතු පිරිසකට කීරි සම්බා හා සම්බා වගා කිරීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කළේය.

අස්වනු නෙළාගෙන එම අවස්ථාවේදීම වී අස්වැන්න ලැබෙන යන්ත්‍ර භාවිත කිරීම තුළින් බිත්තර වී නිෂ්පාදනය කළ නොහැකි අතර, ඒ සදහා යම් ක්‍රමවේදයන් භාවිත කළයුතු බවත්, ඒ පිළිබදව ගොවි ජනතාව දැනුම්වත් කර බිත්තර වී ලබාගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

පසුගිය කාලය සැලකීමේදී වැඩි වශයෙන් කීරි සම්බා හා සම්බා සහල් භාවිත කරනු ලැබුවේ ආපන ශාලා, හෝටල් හා ආහාර සකස් කරන ආයතන වුවත්, මේ වන විට සාමාන්‍ය ජනතාවද වැඩි වශයෙන් මෙම සහල් වර්ග භාවිත කරමින් තිබෙන බවද අනුරාධ මහතා සඳහන් කළේය.මේ නිසා කීරි සම්බා හා සම්බා සහල් සදහා මේ වන විට රට තුළ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන අතර, පවතින ඉල්ලුමට සැපයුම් සැපයීම සඳහා රට තුළ වැඩපිළිවෙළක් සකස් කළයුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ