sachithra-mirando-theft

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචිත්‍ර සේනානායක සහ තිලාන් තුෂාර මිරැන්ඩෝ යන අයගේ නිවෙස්වලින් ඉකුත් 21 වැනිදා වටිනා දේපළ රැසක් සොරකම් ඇතැයි පොලිසිය පවසයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ පන්නිපිටිය කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ නිවෙසෙන් සොරාගෙන ගිය දේපළ අතර වටිනා අත් ඔරලෝසු,

ලැප්ටොප් වර්ගයේ පරිගණක ටැබ් යන්ත්‍ර, රන් භාණ්ඩ සහ මුදල් ද වන බව පොලිසිය සඳහන් කරයි.

නිවෙසට ඇතුළු වූ සොරුන් ආරක්ෂිත කැමරා පද්ධතියේ ගබඩා පද්ධතිය ද රැගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.ඉකුත් පොසොන් පොහෝදා රාත්‍රී සචිත්‍ර සේනානායක මහතා ඇතුළු පවුලේ අය අවශ්‍යතාවක් සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවේදී නිවෙසේ පහත මාලයේ ජනේලයක් බිඳ ඇතුළු වී නිදන කාමරයේ අල්මාරියක් කඩා එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.සේනානායක මහතා ඇතුළු පවුලේ අය පසුදින රාත්‍රි යළි නිචෙසට පැමිණෙන අවස්ථාවේ විදුලිය විසන්ධි කර තිබූ අතර ඉදිරිපස දොරද විවෘත කර තිබී ඇතැයි පොලිසිය කියයි. අදාළ සොරකමේ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලාන් තුෂාර මිරැන්ඩෝ මහතාගේ බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ නිවෙස බිද රුපියල් ලක්ෂ අටක පමණ රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.පොසොන් පොහෝය දා දහවල් කාලයේදී නිවැසියන් නිවෙසේ නොසිටි අවස්ථාවේදී පිටුපස දොර කඩා නිවෙසට ඇතුළුවී එහි අල්මාරියේ තිබූ රන් මාල, වළලු ඇතුළු රුපියල් අටලක්ෂ දස දහසක් පමණ වන රන් ආභරණ තොගයක් සොරකම් කර ඇතැයි පොලීසිය කියයි. මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව ද පොලිසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ