sajith-speaks

රට ඩොලර් කෝටි 9200 ක් ණය වී තවත් ඩොලර් කෝටි 100 කට වැඩි ණය පොලියක් ඇති විට පාලකයන් ආරංචිය සුබ බව කියමින් ජනතාව නොමග යවමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉහළ ණය බරතාව ගැන පොදු ජනතාවට අවබෝධයක් තිබිය යුතු බවත් එවිට පාලකයන්ට තවදුරටත් ජනතාව නොමග යැවීමට හෝ රැවටීම්වලට ලක් කිරීමට නොහැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

සක්වළ සුහුරු පන්ති කාමර පිරිනැමීමේ වැඩසටහනේ 261 වැනි අදියර යටතේ කොළඹ කඩුවෙල මුණිදාස කුමාරතුංග විද්‍යාලයට රුපියල් 11,77,000ක සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. මේ ද්විපාර්ශ්වීය, බහු පාර්ශ්වීය සහ පෞද්ගලික ජාත්‍යන්තර වෛරී බැඳුම්කරණය රටට ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවබෝධතාවකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක නිරත වීමේදී ලක්ෂ 220ක් ජනතාව ගැන සිතා ගිවිසුම්වලට එළැඹෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී රටේ වැඩකරන ජනතාවගේ කරපිට වැඩි බරකුත්

විදේශීය ණය හිමිකරුවන්ට සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන ආකාරයේ ගිවිසුමක් ක්‍රියාත්මක බවත් මේ ගැන රටේ පුරවැසියා දැනුවත් විය යුතු බවත් ඔහු සඳහන් කළේය. මේ වන විට අර්ථසාධක අරමුදල් කප්පාදුවක් පවා සිදු වී ඇති බවත් පාසල් දරුවන් මෙන්ම පුරවැසියන් ද මේවා ගැන අවබෝධයෙන් සිටිය යුතු බවත් එසේ නොතිබුණහොත් පාලකයන් ගහන ගහන පදයට ලක්ෂ 220ට නටන්න සිදුවන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.රට දියුණුවීමට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ යා යුතු බවත් පාලකයන් කියූ පමණින් හැමදේම නොපිළිගෙන විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.
නිමල කොඩිතුවක්කු