sanjaya-rajarathnam-ranil

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව ඊයේ (18) ප්‍රතික්ෂේප කළේය.එම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ඊයේ දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද පැවතීම හේතුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර ඇත.

මේ අනුව පැවැති ඡන්ද විමසීමේ දී නිර්දේශයට විපක්ෂව ඡන්ද පහක් ලැබී ඇති අතර ඊට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද තුනක් පමණි. නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ සවස රැස්විය.

නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස් වුව ද අවසන් තීරණයක් ගැනීමට නොහැකි විය.ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබුණේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහාය.

නීතිපති රාජරත්න මහතාගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිතය.ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නීතිපති ධූරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුගිය 2021 වර්ෂයේ මැයි 6 වැනිදා දිවුරුම් දුන්නේය.සංජය රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයා විය. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්,

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුර ද වරින් වර හෙබවීය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත. රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ ද සොලිසිටර්වරයෙකි. නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහ විවිධ සංවිධානවල විරෝධතාව පසුගිය කාලයේ දී පළවිය.
සුජිත් හේවාජුලිගේ