sena-yaddehige-arpico-court

ආර්පිකෝ  සන්නාමය අයත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
මෙයට හේතුවී ඇත්තේ යද්දෙහිගේ මහතා විසින් තමාව අපයෝජනයට ලක්කළේ යයි ව්‍යාපාරික විශ්ලේෂකවරියක බව කියන කාන්තාවක කරන ලද පැමිණිල්ලකි.
පසුගිය සිංහල අවුරුදු සමයේ මාසයක පමණ කාලයක් විදේශගතව සිටි ව්‍යාපාරිකයා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු ලංකාවේ නොමැති කාලයේ රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ, ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට පැමිණිලිකාරියට පවරා තිබූ බවත් ඇය ඒ වෙනුවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකට කැඳවා තිබූ බවද ඇය සඳහන් කරයි. එලෙස පසුගිය මැයි 07 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකට ගෙන්වා එකී විශ්ලේෂණය කරන අතර තමන්ව අපයෝජනයට ලක්කරන ලදැයිද පැමිණිල්ලේ සඳහන්ය.



පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් අධිකරණය ව්‍යාපාරිකයාට  විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.

සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.
ආචාර්ය සේන යද්දෙහිගේ විද්‍යාඥයෙක්,ඉංජිනේරුවෙක් මෙන්ම ව්‍යවසායකයෙකි. ඔහු විසින්ම දියුණු කරන ලද වාහන 'සෙන්සර්' තාක්‍ෂණයක් නිසා පේටන්ට් බලපත්‍ර හිමිකරුවෙකි. ඔහුගේ නිෂ්පාදන චීනයේ හා බ්‍රසීලයේ අදටත් භාවිතවේ.
 සමාගම් ගණනාවක නිර්මාතෘ, සභාපති සහ අධ්‍යක්ෂ වන ඔහුට රිචඩ් පීරිස්, මස්කෙළිය වැවිලි, කෑගල්ල වැවිලි , නමුණුකුල වැවිලි  සමාගම්හි කොටස් හිමි අතරම ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ වරයෙකුද වේ.