sjb-pohottuwa

ඉදිරි දින දෙක තුන ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12ක් සමගි ජන බලවේගය මූලිකත්වයෙන් පිහිටුවන සමගි ජන සන්ධානය වෙත එක්වීමට නියමිත බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර  පැවසීය.

එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සමගි ජන සන්ධාන පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව තනතුරු ප්‍රදානය කිරීමට නියමිත බව ත් මිතුරු දෙමළ ජාතික පක්ෂ සහ මුස්ලිම් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂවල සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් සමගි ජන සන්ධානය සමග අලුතෙන් එක්වීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.



ජනාධිපති මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට සමගි ජන සන්ධානයේ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කරන බව පැවැසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව දේශපාලන ප්‍රචාරණ වැඩ කොයිතරම් සිදුකළත් ඒවා සාර්ථක නොවන්නේ රටේ ජනතාව ආර්ථික අපහසුතා මැද ජීවත්වන නිසා බව කීවේ ය.

මේ අනුව, සමගි ජන බලවේගයේ නව සන්ධානය ලබන මස තුළ පිහිටුවීමට නියමිත බව ද ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඇතැතිව තම කණ්ඩායම මැතිවරණ තරග බිමට බසින බව ද හෙතෙම කීවේ ය.



වැඩිදුරට ත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

“පක්ෂයට නව සාමාජිකයන් එක්වීමේ වැඩසටහන සාර්ථකයි. දැන් අලුතෙන් එක්වූ සාමාජිකයන් ලක්ෂ 20ත් ඉක්මවලා තියෙන්නේ. මේ නිසා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සන්ධානගත වෙන්නේ දිනන පැත්තටනේ. අපේ මිත්‍ර ඉහළ කඳුකරේ ද්‍රවිඩ පක්ෂ හා මුස්ලිම් පක්ෂ, පොහොට්ටුවේ ඉඳන් එන කට්ටිය ඔක්කොම 30 විතර අපි එක්ක එනවා. ඒ කියන්නේ සජබෙ මන්ත්‍රීවරු ඇරුණ ම 30ක් විතර ඉන්නවා. කොටසක් දැනටමත් සන්ධානගත වෙලා ඉවරයි.

උතුරු නැගෙනහිර අය සන්ධානගත වීමට එකතු කර ගැනීම ගැන තව ම කතා කරලා නෑ. සන්ධාන ගතවීම් ගැන සාකච්ඡා දැන් සිදු කරමින් ඉන්නවා. ඒ වගේ ම අද වන විට ජනතාව ගැටලු රැසකට මුහුණ දීලා. පාසල් වැහිලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමඟ නැවතිලා. ආණ්ඩුව මේ ප්‍රශ්න ගැන වගක් නැතිව දේශපාලනේ කරනවා.”