sri-lanka-cricketers-returns

ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම ඊයේ (19 වැනිදා) උදෑසන 08.40 ට කටුනායක ගුවන් තොටුපොළින් පෙරළා සියරට පැමිණියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අවස්ථාවලදී සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද,


ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු “සිල්ක් රූට්” පරියන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි.



‘‘සිල්ක් රූට්” පර්යන්තයේ පහසුකම් සඳහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර, එම මුදල් ගෙවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම පහසුකම ලබාගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරියා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත්, ඉන් පිටත ප්‍රදේශයේත් විශේෂ, දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතින් සිදු වූ වැරැදි සහ තමන් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයකු වශයෙන් ඒ පිළිබඳව බොහෝ කනගාටු වන බවත් වනිදු හසරංග කටුනායක ගුවන් තොටුපොළේදී පැවැසීය.

ක්‍රීඩකයන් විදිහට අපි අතින් සිදු වූ වැරදි මොනවාදැයි කියා දන්නා බවත්,

ක්‍රීඩකයන් වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසාත්, පිතිහරඹය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් සිදු නොකළ නිසාත් මේ ආකාරයට පරාජය වැළඳ ගැනීමට සිදු වූ බව ද හෙතෙම පැවසීය.විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයට පමණක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකි වූයේ එකම තරගයක් පමණි. දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශයට එරෙහි තරග පරාජය වූ අතර නේපාලයට එරෙහිව පැවැති තරගය වර්ෂාව නිසා අතහැර දමනු ලැබීය.
 ටී.කේ.ජී. කපිල