starlink-for-sri-lanka

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් නිවේදනය කළේය.
කෙසේ වෙතත් විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව අවසන් අනුමැතිය ලබා දෙන බවත් මහජන අදහස් විමසීමේ තොරතුරු හෙට ප්‍රකාශයට පත් කරන බවත් වාර්තා කර තිබේ.

පසුගියදා ප්‍රකෝටිපති එලොන් මස්ක් ජනපති රනිල් වික්‍රමසිංහ හා ඉන්දුනීසියාවේදී හමුවී කතාබහක් ඇතිකරගත් අතර ශ්‍රී ලංකාවේ සංචාරකයින් වර්ධනය පිණිස Starlink අන්තර්ජාල ඩේටා පැකේජ ලබාගැනීමේ වැදගත්කම ජනපතිවරයා ඔහුට පෙන්වාදී තිබුණි.



ලෝකයේ කලාප රාශියක් ඉලක්ක කරගෙන චන්ද්‍රිකා රැසක් උපයෝගයෙන් අන්තර්ජාල දත්ත චන්ද්‍රිකා තාක්ෂ‍ණයෙන් ලබාදීම මෙම ව්‍යාපෘතියෙන් සිදුවේ. ඒ සඳහා ස්ථාවර හෝ ජංගම චන්ද්‍රිකා රිසීවරයක් භාවිත කළ යුතු අතර මාසික ගාස්තු ක්‍රමයක් යටතේ අන්තර්ජාල ඩේටා පැකේජ ලබාදේ.
ලෝකයේ කලාපයෙන් කලාපයට මෙම අන්තර්ජාල සේවාවන්ගේ මිල වෙනස්ය.
වාර්තාවන ආකාරයට ලංකාවට දෙන්නට යන පැකේජ අතර මාසිකව රුපියල් 9000 කට අසීමිත දත්ත පැකේජයක්ද තිබේ. (උපාංග සඳහා වෙනම අයකෙරේ)
මේ ආකාරයට අන්තර්ජාල දත්ත ලබාදීම නිසා දැනට ලංකාවේ දුරකථන කුළුණු හරහා හෝ ඒඩීඑස්එල් හෝ ෆයිබර් ඔස්සේ ලබාදෙන දත්ත සේවාවන්ට තරගකාරීත්වයක් ඇති වනු ඇත.
පසුගියදා  ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසා තිබුනේ මෙම සේවාව ඉතා ඉක්මනින් ලංකාවේ අරඹන බවයි.