strike-onschool-health

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (24) ආයුර්වේද වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් අද (24දා) සහ හෙට (25දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බව වෘත්තීය සමිති සඳහන් කරයි.මීට අමතරව පවතින ගැටලුවලට අද (24දා) දිනයේදී විසඳුම් නොලැබුණහොත් ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමයට අයත් නිලධාර්න් හා රජයේ විධායක මට්ටමේ නිලධාර්න් හෙට (25දා) සහ අනිද්දා (26දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමය සඳහන් කරයි.තැපැල් සේවාවට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අද (24දා) අග්‍රාමාත්‍ය ලේකම්වරයා හා වෘත්තීය සමිති අතර පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු වෘත්තීය සමිති තීරණය කරන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.



මීට අමතරව ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 26 වන දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. ආයුර්වේද වෛද්‍යවරුන් අමතර සේවාවල නිරත වුවත් කිසිදු දීමනාවක් නොලැබෙන බවත්, මේ අනුව අදාළ ගැටලුව පිළිබඳ පසුගිය කාලය පුරාම බලධාරීර්න් සමග සාකච්ඡා කළ බවත්, එහෙත් මෙම සාකච්ඡා අසාර්ථක වීම නිසා අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ එක් දින ක්‍රියාමාර්ගයක් සිදු කරන බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

මීට සමගාමීව කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් හා විරෝධතා පා ගමනක් පැවැත්වීමට කටයුතු කරන බවත් වැඩවර්ජනයක් සිදු වුවත් අත්‍යවශ්‍ය සේවා සිදු කිර්මට වෛද්‍යවරුන් කටයුතු කරන බවත්, ඉතිරි පිරිස් අසනීප නිවාඩු දමා කොළඹද පැමිණි අදාළ ක්‍රියාමාර්ග සිදු කරන බව එම කමිටුවේ සමකැඳවුම්කරු වෛද්‍ය චතුර ජානක මහතා සඳහන් කළේය.එමෙන්ම අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ සේවකයන් අද (24දා) හෙට (25දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.



මීට අමතරව අද දිස්ත්‍රික්ක 05ක් මූලික කර ගනිමින් ස්ථාන 05කදී විරෝධතා ව්‍යාපර පැවැත්වීමටත් 25වන දින ගම්පහ දිස්ත්‍රික්කය තුළදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වුවත් රාත්‍රී කාලයේදී පාසල්වල හා අනෙකුත් අධ්‍යාපන ආයතන තුළ සිටින මුරකරුවන් රාජකාරි සිදු කරන බවත් එහෙත් දහවල් කාලයේදී මුරකරුවන් සේවයෙන් ඉවත් වන බවත් පාසල් හා අනෙකුත් නේවාසිකාරගාර කටයුතු මෙම දින දෙක තුළදීත් සමාන්‍ය ලෙස පවත්වා ගෙන යන බවද පවසා සිටියේය.

රජයේ විධායක මට්ටමේ සි නිලධාරීන්ගේ විධායක දීමනාව වැඩි කිර්මට අදාළ කටයුතු මෙතෙක් නිසි ලෙස සිදුකර නොමැති නිසා අද (24දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණ ගත යුතු බව ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමය සඳහන් කරයි. අදාළ තීරණ ගැනීමට කටයුතු නොකළහොත් හෙට (25දා) සහ අනිද්දා (26දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කිරීමට තීරණය කර තිබෙන බවත්, මෙම කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු තුළ සේවය කරන පරිපාලන නිලධාරීන් හා විධායක මට්ටමේ සිවිල් නිලධාර්න් සම්බන්ධ වන බවත් පෙන්වා දෙයි.

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබූ වැටුප් විෂමතා විසඳීම යටතේ මෙතෙක් ලබා දී නොමැති කොටස් දෙක ලබා ගැනීමට හා පාසල් උපකරණ මිල අඩු කරන ලෙස ඉල්ල හා පාසල් නඩත්තුවට නිසි ලෙස මුදල් ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 26වන දින සේවයෙන් ඉවත් වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.26වන දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වන බවත්, එදින රට පුරා සිටිනගුරු විදුහල්පතිවරුන් කොළඹට රැස් වී දැවන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වීමට කටයුතු කරන බවත් එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ගුරු විහල්පතිවරුන්ට ඇති වී තිබූ වැටුප් විෂමතා විසඳීම යටතේ විෂමතාවයෙන් කොටසක් 2022 වසරේදී ලබා දුන් බවත් ඉතිරි කොටස් දෙක මේ වසරේ ජනවාරි මාසයේ සිට ලබා දිය යුතුව තිබූ බවද ඔහු පැවසීය.

පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් ලබා නොදීම නිසා දෙමාපියන්ට විශාල මුදලක් දැරීමට සිදුව තිබෙන බවත්, පාසල් උපකරණ හා නිලඇඳුම් රෙදි මිල විශාල ලෙස ඉහළ යාම නිසා දෙමාපියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය. මේ නිසා පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් ලබා දෙන ලෙස ඉල්ලා හා පාසල් උපකරණ මිල අඩු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ඉන්දික හේවාවිතාරණ